මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Friday 23 July 2021

විද්‍යාව සහ බුදුදහම

  අද ඇසළ පෝයයි. අපිට දැන් දැන් එය වටින්නේ අද දිනය රජයේ නිවාඩුවක් නිසාය. ඒක සිකුරාදාවක් හෝ සදුදාවක් වෙනවානම් පෝය වටිනාකම බොහොමත් ඉහලය. කොරෝන නොතිබුනානම් අද වැනි දවසක බෞද්ධ අපි දවස් තුනක ට්‍රිප් එකක් ගොස්, පෝය උඩින්ම සමරන්න තිබුණාය.

  එක දිගටම වැඩ කරන මිනිස්සුන්ට  විද්‍යාවට අනුවනම් එහෙම විවේකයක් , විනොදයක් අතයවශයය. එත් නිර්මල බුදුදහමට අනුවනම් එවැනි විවේකයක් අවශ්‍ය නැත. ඒ කොහොමද  ඒහෙම වෙන්නේ කියලා අපි කතා කරමු.

  ඇත්තෙන්ම ගෞතම බුදුන් ලොව පහල වී දැන් අවුරුදු 2600කට වැඩිය. උන් වහන්සේ දෙසු දහමෙන් අපි, අපිට ඕන කරන කොටස් විතරක්, අපිට පුළුවන් තරමින්, පුළුවන් කමක් තිබුනොත් විතරක් අනුගමනය කරනවාය. අන්න ඒ විදියට අනුගමනය කරලා අපි ලෝකයේ බෞද්ධ රටක් හැටියට අපේ ලොකුකම පාරම්බාමින් සිටිනවාය. 

  එතකොට අපි අර අතහරින එහෙමත් නැත්නම් මහහරින වත් පිළිවෙත්, එහෙම මගහැරීම සාධාරණ කරන හේතු, විද්‍යාත්මකව සාක්ෂි, සාධක, පර්යේෂණ , නිරීක්ෂණ ආදියෙන් තහවුරු කරනවාය. තව පැහැදිලි කරනවානම් එදා බුදුන් වදාළ ධර්මයට වඩා අද විද්‍යාව දියුණු බැවින්, බොහෝ ධර්මයන් අදට වලංගු නොවන බව ඔප්පු කරමින් සිටිනවාය. 

  වැඩේ කියන්නේ ඒ ඒ ධර්මතාවයන්ගේ වලංගු භාවය විද්‍යාත්මක පර්යේෂණ මගීන් තවුරුකරගන්න යනවාය. එසේ අද තහවුරු වුනු ඒවා ධර්මය වන අතර නොවන ඒවා අධර්මයන්ය. ඒ කියනේ අද බුදුදහම අබිබවා විද්‍යාව ඉදිරියට එනවා වගේ පේනවාය.

  ඔන්න දැන් තමයි වැඩේ. දැන් මේක කියවන ගොඩක් දෙනාට හිතෙන්නේ, නෑ එහෙම එකක් නෑ මේ රාලගේ මනස්ගාතයක් කියාය. එත් පොඩ්ඩක් කියවන්න ඔබ උපතින්  බෞද්ධයෙක් වුවත් ඔබගේ දිනචාරියාව කෙතරම් දුරට බුදුදහමට අනුගතද  කියා ?  තවත් ලෙහෙසියෙන්ම පහදනවානම් බුදුන් වහන්සේ ගිහියෙකුට තම දිවිය ගොඩනැංවීම සදහා පෙන්වාදුන් ප්‍රධාන මග පෙන්වීම් දෙකක් ගමු. එක දිනපතා පන්සිල් රැකීම හා දෙවනුව අටලොදහමේ නොසැලී සිටීම. 

  අද මේ පුන් පොහොය දිනයේ විනාඩි දහයක් විවේකි මනසින් සිතා බලන්න, දිනකට කී වරක්, ඔබ පන්සිල් පද කියක් බිද දමනවාද කියා ? ඊ ලගට අටලොදහමේ නොසැලිම කෙසේ වෙතත්, එහි ඈලි ගැලී ඔබ කොතරම් චිත්ත දෝමනස්සයන්ට හසුවෙනවද කියා ?

  ඔන්න ඉතින් හිතුවට පස්සේ තමන්ගේ තරම දැන ගත්තාම ඊ ලගට හිතෙන්නේ  අනේ මේ ගොන් රාළයා කිව්වට අපි කොහොමැයි ඉදලා හිටලා වත් සොට් එකක් දාන්නේ නැතුව ඉන්නේ?  නැත්නම් අරින් වැඩක් හොරෙන් කරලා (තුන්වෙනි සිල් පදේ) නිකං ලැබෙන ආතල් එකක් නොගෙන ඉන්නේ?  ඒ හොර වැඩ කරලා, එක වහන්න බොරු නොකියා ඉන්නේ? (ඔන්න ඔහොමයි පන්සිල් කඩන්නේ )  

  ඒ විතරක්ද වටේ ඉන්න එකම  සිස්ස්ත්වේ පාස් ළමයා  ගැන කියලා, ඊටත් වඩා ලකුණු අරන් පාස් වෙන්න ඕනා කියා කියා තමන්ගේ ළමයින්ගේ ඔලුවට නොදා  ඉන්නේ ? එහෙම දගලලා දගලලා පාස් උන ළමයාගේ රිසාල්ට් ෂිට් එක පොටෝ ගහලා ෆේස්බුක් දාලා දගලන්නේ නැතුව ඉන්නේ? තමන්ගේ හොදම යහළුවාගේ ෆ්‍රී ශුට් එකට වඩා වැඩියෙන් එළියේ දාගෙන  එකක් කරලා ඉන්ටනෙට් දාන්න. තව හනිමුන් පිටරටක ගිහින් පොටෝ ගහලා ඒවා ෆේස්බුක් දාලා අනික් අයට පිස්සු හදවන්න. වගේ ලොකු ලිස්ට් ඒකක් මම ලියනවට වඩා හොදින්  ඔයාලටම මතක් කර ගන්න පුළුවන් නේද? පේනවද අටලොදහමේ තම තමන් අලි ගැලී ඇති විදිය ?

  ඈත්තෙන්ම ඔබට විතරක් නෙවි මටත් මේ පන්සිල් රැකගෙන, අටලොදහමේ නොසැලී සිටින්න බැරිවී තිබෙන්නේ ඇයි කියලා කියන්න තමයි මම මේ ලිපිය අද ලියන්න හිතුවේ. 

  අපිට එහෙම වෙලා තියෙන්නේ බටහිර අධ්‍යන ක්‍රමයට අනුව හැම දෙයක්ම අප අවට, අපට පෙනෙන, නිරීක්ෂණ, පර්යේෂණ, අනුව තීරන ගන්න කියන විද්‍යාත්මක රාමුවක අපිව හිර කල නිසයි. ඇත්තෙන්ම මගේ පෞද්ගලික අදහස  සුද්දෝ මෙක හිතාමතාම අපිට අටවපු උගුලක් කියලයි. මොකද සුද්දෝ එන්නට කලින් ඉදන්ම, හොද අධ්‍යාපන ක්‍රමයක්, දියුණු තාක්ෂණික ක්‍රම වේදයන් හා අද වෙනකොට විද්‍යාවෙන් පවා පැහැදිලි කල නොහැකි නිර්මාණ රාශියක්, අප සතුව තියෙනවා. නිකමටවත් හිතන්නේ නැත්තේ ඇයි අද අපිට එවැනි නිර්මාණ බිහිකරන්න බැරි ඇයි කියලා?

 එදා ඒ නිර්මාණ කරපු අපේ ආදී කාලින හෙළයා  පංසිල් රකින, අටලෝ දහමේ නොසැලෙන බොහොම තෘප්තිමත්, විවෙකශීලි ජිවිතයක් විඳපු කෙනෙක්. ඔවුන් ලද දෙයින් සතුටුවන, නිදහස උපරිමයෙන් විදිමින් ලෝකයට පුදුම සහගත නිර්මාණ එකතුකරන ලද අයයි. ඒ හැම නිර්මානයක පිටුපසම ඔවුන්ට මගපෙන්වුයේ බුද්ධ මාර්ගයයි. දැන් ඔබට පැනයක් ගොඩනැගෙන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කොයි සුත්‍රයේද දාගැබ් මහා වැව් හදන්න කියලා දුන්නේ කියලා ?

  ඇත්තෙන්ම බුදුන් පෙන්වුයේ ඒ මහා නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය දැනුම ලබාගත හැකි ධාන්‍ය වඩවනා ක්‍රමයයි. එමගින් විශ්වදැනුම ඔබ සතු කර ගන්නා ක්‍රමයයි. උන් වහන්සේ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙනුත්  ඔප්පු කර පෙන්වා තිබියදීත්, සුද්දාගේ අධ්‍යනයට රැවටුන අපි අච්චු පොතේ  තියෙන දේ  පමණක් ඉගෙන ගනිමින්, කටපාඩම් කරමින්, මහා විද්වතුන් වෙන්න දගලයි.

 නිකමට සිතන්න අසුදහසක් වූ ධර්ම  ස්කන්ධයක්  දේශනා කර වදාරන්නට උන්වහන්සේට දැනුම ලැබුනේ කුමණ අධ්‍යන ක්‍රමයකින්, කුමණ අචාර්යවරයෙකුගෙන් හෝ  කුමන විශ්වවිදයලයකින්ද ? ඒ කිසිවකින්වත් නොව, භාවනාව මගින් වඩවා ගත් ධ්‍යාන ශක්තියෙන්, මේ මහා විශ්වයෙන්ප, විශ්ව ශක්තියෙන්ම පමණක් මය. 

  නැවතන් ලිපියේ මුල සහ අග සම්බන්ද කරනවානම්, ඔබ පස් පවින් වැලකි, අටලොදහමෙන් සැනහී සිටිත්නම් ඔබට රජයේ නිවාඩු අවශ්‍ය නොවන අතර විවේකය ඔබට නිතැතින්ම උරුමය. ඒ විවේකය ඔබ නියමාකාර නිවුණු මනසකට මග පාදනවා නිසැකය. නිවුණු මනසක ඇති නිස්කලංක භාවය,  නිතැතින්ම භාවනාවක්ය. ඒ භාවනාව ඔබගේ මනස ශක්තිමත් කරන අතර එම ශක්තිමත් මනස ඔබට ධ්‍යාන වැඩිම පහසු කරන්වාමය. එම ධ්‍යාන ශක්තිය, නිසි ආකාරව හසුරවන විට  විශ්වය ඔබට අවශ්‍ය ඕනෑම දෑනුමක් ලබාදෙනු නොඅනුමානය. එසේ ලාබාගත් දැනුමින් අප මුතුන් මිතිතන් කල නිර්මාණ අදටත් විද්‍යාවට මැජික්ය. 

  ඔබට අලුතෙන් පටන් ගැනීමට අවශ්‍යනම් කවදාවත් ප්‍රමාද නැත. පළමුව කල යුත්තේ පස්පව් කැඩීමට විද්‍යාත්මක හේතු නොසොයා, ඒවා රැකීමට සිත සංවර කල හැකිමාර්ග සෙවීමය. පස්පවින් වැළකෙන විට ඔබ  නිතැතින්ම අටලොදහමේ නොසැලිසිටින්නෙකු බවට පත්වෙනවාය
. ඉන් ඉදිරිය ඉතාමත් පහසුය.  

සිත පහන් හැගුමන් පුබුදුවන සුවබර පොහොය දිනයක් වේවා!!

  කෙටි ලිපියකින් පැහැදිලි කරන්ට තරමක් අපහසු උනත් ලියු දේ තරමක් හෝ තේරුම් ගන්න ඈතයි සිතමි. නොතේරුණු යමක් වේනම් පහලින් අසනු මැනවි!   

  

Thursday 24 June 2021

උබලා බයද ?

අද පොසොන් පුර පසලොස්වක පෝය දිනයයි!

හොද වෙලාවට කොරෝනා නොතිබුනානම් අපි අද පොසෙන් සමරන්නේ, සිටියානම් දේවානම් පියතිස්ස රජ පමණක් නොව, මිහිදු මහරහතන් වහන්සේත් බයවෙන තරමටය. අපි එහෙමයි! මොකද අපි බෞද්ධයෝනෙ. 

හරි එහෙනම් කතාව පටන් ගමු. 

ඇත්තෙන්ම උබලා බයද ? කියලා ඇහැව්වොත් බොහොමයක් කියන්නනේ නෑ කියලා. ඒ මොකද තමන් බයයි කියලා, තමන් වත් නොදන්නා නිසා. එහෙනම් කොහොමද අපි දෑන ගන්නේ අපි බයයි කියලා ? එක දැන ගන්න පුළුවන් අපි බය උනාම එකට දක්වන ප්‍රතිචාරය, සිංහලෙන් කියනවනම් රියෑක්ෂන්  එක ගැන හොයලා බැලුවනම්. 

හරි ප්‍රතිචාරය ගැන කතාකරන්න කලින් අපි බලමු ඇයි අපි බය වෙන්නේ කියලා. ඔබේ බයට, සියයට අනුවක්ම හේතු වෙන්නේ ඔබේ නොදැනුවත් කම. එතකොට ඉතුරු සියයට දහය ? ඒ ඔබේ අධික දැනුවත් කම. (ඒ වගේම මනා  දැනුවත්කම බය  නොවීමටත් බොහෝ විට හේතුවක් වේ) අවුල් නේද ? හරි ඉවසලා ඉන්න (සී ලාංකිකයෝ ලග නැතිම දේ) පහදලා දෙන්නම්.

දැන් ඔබ හිතන්න ඇයි ඔබ කොරෝනා වලට බය ? ඔබේ පිළිතුර වෙන්න පුළුවන් හැදුනොත් මැරෙයි කියන නිසා. ඒ කියන්නේ ඔබ මරණයට බයයි ඒ නිසා කොරොනාවට බයයි. එතකොට දොස්තරලා, සෞඛ්‍ය විශේෂඥයෝ වගේ අය කොරෝනාවට බය ඒ ගොල්ලෝ මේ  ගැන සාමන්‍ය මිනිස්සු එක්ක ගත්තම ඕනාවටත් වඩා දන්නා නිසා. ඒ වගේම කොරෝනා මට්ටු කරන්න තරම් ඒ ගැන දන්න විශේෂඥයෝ කොරෝනට පොඩ්ඩක්වත් බය නෑ.

හරි තව සරල උදාහරණයක් ගමු. ඔබ පාරේ පයින් එන කොට තඩි බල්ලේක් බුරාගෙන ඔබේ පැත්තට එනවා. ඔයාලා කන පැලෙන්න බය වෙනවා මොකද ඔබ දන්නේ නැ ඒ බල්ලා ගැන හෝ බලු සංහතිය ගැනම ඉතීම් බය වෙනවා. ඒවගේම ඔය බල්ලා ඉන්නේ ඔබ දන්නා තැනක නම් (ඒ බල්ලා ගැන ඇති මනා දැනුම නිසා) ඌ ඔය එන්නේ හපන්නනම් ඔබ බය වෙයි, සෙල්ලමටනම් ඔබ බය නොවෙයි.

මම මේ ලිපිය ලියන්නේ ඔබ බය වෙන විදිය ගැන පැහැදිලි කිරීමට නොව බය උනාම ඔබේ ප්‍රතිචාරය කුමක්ද හා ඉන් එහාට වෙන දේවල් ගැන ඔබට අවබෝදයක් ලබා දීමටය එම නිසා ඔබ බය වෙන්නී ඇයි කියලා ඔබ දිගින් දිගට කල්පනා කරලා අවබෝදයක් ගැනීම ඔබ සතුය. 

ඔබ හා ලෝකයේ අනෙක් බොහොමත් දෙනාම (90%) බය ඇති කර ගන්නේ මා ඉහත කියු පරිදි නොදැනුවත් කම නිසාය. (හොදින්  කල්පනා කල විට එය ඔබට වැටහෙනවා නොඅනුමානය) නමුත් ඒ බය නිසා දක්වන ප්‍රතිචාරය ඒ ඒ ජාතීන්ට අනුව වෙනස්ය. 

මා මේ කතා කරන්න යන්නේ සී ලාංකිකයන් වන අප බයට දක්වන ප්‍රතිචාරය ගැනය

ඔව් මම කිව්වොත් සී ලාංකික අපි, අපේ බය මුදා හරින්නේ කේන්තියක් හැටියටමය කියලා ඔබ විශ්වාශ කරනවද ? 

සියල්ල අමතක කර දැන් ඔබ ඔබ ගැන සිතන්න.

කොරෝනා වලට බය වෙලා ඉන්න ඔබ, දැන් ඉන්නේ කේන්තියෙන් නොවේද? 

පාරේදී බල්ලෙක් බුරාගෙන ආවාම බල්ලාට බය උන ඔබ ඉලගට කරන්නේ, ඒ බල්ලාට, බල්ලාගේ අම්මාට, බල්ලාගේ අයිතිකාරයාට, හා බල්ලාගේ අයිතිකරුගේ අම්මාට කේන්තියෙන් බැන වැදීම නොවේද?

ඒ ඇරෙන්න පාරේදී යමෙක් ඔබේ ඇගේ පොඩ්ඩක් වැදීගෙන ගියාම බය වෙන ඔබ කරන්නෙත් අඩුම තරමේ ඔබේ  සිතින් හෝ ඒ පුද්ගලයාට , ඔහුගේ හත්මුතු පරම්පරාවටම බැනවැදීම නොවෙයිද?

ඔබ රියදුරෙක්නම් පිබගෙන එන අනෙක් රියදුරා ටිකක් වැඩිපුර ඔබගේ රථයට ලගින් යන විට ඇති උන බයට ඔබ කරන්නේ  ඔහුටත් ඔහුගේ  මවටත් බැනවැදීම නොවෙයිද ?

බොස් දුන්න වැඩ ටික වෙලාවට ඉවර කර ගන්න පුලුවන්වෙයිද කියලා බය වෙලා ඉන්න ඔබ කරන්නෙත්  බොස්ට සිතින් සාප කරන එක නෙවෙයිද ?

මේ විදියට ඔබේ  බය නිසා හෝ ඔබ සිතනවනම් බයවෙන්නෙම නැතුව හෝ ඔබට  කේන්ති යන විදි ටිකක් එහෙහෙනම් කොමෙන්ට් හැටියට දාගෙන යමුකෝ. එත කොට බලාගන්න පුළුවන් දවසට අපිට කි සැරයක් කේන්ති යනවද නැත්නම් බය වෙනවාද කියලා .

ඊට පස්සේ  ඊලග ලිපියෙන් ඔය කේන්තිය නිසා  එහෙම නැත්නම් බය නිසා ඔබට සිදුවෙන හානි  හා එක පාලනය කරගන්න පුළුවන් විදිය ගැන කතාකරන්න බැරියැ.

එහෙනම් සැමට සුබ හා කාලෙකට පසු එළැබෙන සාමකාමීම පොසොන් දිනයක් හා නිවාඩු දිනයක් වේවා.




 


Monday 1 March 2021

අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????..... 4

      මේ කතාව 2013 වසරේදී මේ මහා මැලේසියාවේදී සත්‍ය වශයෙන්ම සිදුවූවක් බව සරින් සැරේ ඉන්බොක්ස් එකේ අහපු සැම දෙනාමත් අනෙක් අයත් දෑන ගනු මැනවි. සමහරක් නම් පමණක් වනස් කරන ලදී.

ලෝකයේ මිනිස්සුන්ව රාළට අනුව ප්‍රධාන කොටස් දෙකකට හා තව එක උප කොටසකට බෙදන්න පුළුවන්. එක වැඩ කරන මිනිසුන් දෙක වැඩ නොකරන මිනිසුන්. අර උප කොටස තමයි දවසම වැඩ කරනවයි කියාගෙන , පෙන්නගෙන එත් කිසිම වැඩක් නොකරන අය. ඒ කොටසේ  උඩින්ම ඉන්න පොරක් තමයි එදා මට කොම්ප්ලක්ස් එකෙදී හම්බ උන රත්නේ අයියා. මිනිහගේ තියෙන එකම හොදේ මේ පලාතේ සිංහලයින්ගේ ගැන තොරතුරැරැස් කරගෙන ඉන්න ගබඩාවක් වීමයි. පොරව දැක්ක ගමන් මට ආවේ හෙන සතුටක්.

රත්නේ අයියා දැක්ක කල්? කොහමද හොදීන් ඉන්නවද?

කියන්න වරදක් නෑ මල්ලි. ඔයාලගේ පිහිටෙන් අපෙ වියදමෙන්  කාලා බිලා පාඩුවේ ඉන්නවා.

ඔයා දැන් වැඩකද ඉන්නේ, බිසිද රත්නේ අයියා ?

අපෝ ඔව් මල්ලි ලොකු වැඩක ඉන්නේ  දවසේ පැය විසිහතර මදි අප්පා තියෙන වැඩ ටික ඉවර කරගන්න.
කව්ද මේ මල්ලි පාර ?

මු පාරක් නෙවෙයි යකෝ මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් . මෙයාගේ වැඩකට තමයි අපි  මෙතනට ආවේ එක කරගන්න විදියක් බල බල ඉන්න කොට තමයි වෙලාවට වගේ ඔයාව දැක්කේ. යන්කො මොනවා හරි කන බොන ගමන් පොඩි චැට් එකක් දාන්න 

අඩේ මල්ලි තාම ටිකක් වේලාසන වැඩි නැද්ද  ?

ආ ඒ වැඩේට අපි තව රෑ වෙලා යමු දැනට අපි පහල රෙස්ටුවරන්ට් එකෙන් පොඩි සොටිස් පාරක් දාමු.

ඔන්න අපි දැන් රෙස්ටුවරන්ට් එකේ මම කතාව පටන් ගන්නවා 

රත්නේ අයියා මල්ලි සිංගප්පුරුවේ ඉදන් ආවේ. එහෙ ඉගෙන ගන්නවා. නිවාඩුවක් ආවම මෙහෙ එනවා.ගිය පාර ආපු වෙලාවේ මෙයාට පොඩි ගැල් ළමයෙක් ලයින් වෙලා සෙන්තුල් පන්සලේදී. එත් ඉන්න තැන මුතියාරා එකේ  කියලා විතරයි දැනගෙන තියෙන්නේ එදා.  ඊට පහුවෙනිදා මෙයා ගිහින්. අද තමයි මේ මාස තුනකට පස්සේ ආයෙත් ආවේ.

හපොයි මනොජයා මාගේ දිහා බලන් ඉන්නේ  ඇස් දෙකෙන් නොව කටින්ය වහාම සංසුන්වන ලෙස මා කල ඉගිය හොද වෙලාවට තේරුම් ගත් නිසා පොර මදක් මෙල්ලවිය.

අනේ බන් මල්ලිලා දැන් ඔය මුතියාරා එකේ අපි දැනුවත්වම  ලංකාවේ ගෑණු  තිහකට වැඩිය ඉන්න වනේ බන්.
ඒ මදිවට අපි නොදන්නා අයත් තව ඕනා තරම් ඇති .

ඔයා නොදන්නා ලංකාවේ ගෑණු කොහෙද අයියා මේ සෙන්තුල් වල නම සමන්ති මොකද්ද ඔය සැලෝන් කොස් එකක් කරන කතාවක් තමයි කියලා තියෙන්නේ. 

එයාගේ අක්කත් ඉන්නවා එයා ඒ ලගම සැලුන් එකක වැඩ කරනවා එහෙම කිව්වේ මනෝජා. (හි හි )

ඒ ලග කියන්නේ ඔක්කොම සැලුන් තියෙන්නේ මුතියාරා එකේම තමයි. ලංකාවේ ගෑණු සෑහෙන දෙනෙක් ඕවා වල වැඩ කරනවා මොකක්ද අක්කගේ නම?  මොකද සමන්ති  කියලා නමක් මගේ මීටරේ නෑ 

අක්කගේ නම මට හරියටම මීටර් නෑ නිකං ජිවා හරි ජීවනි වගේ නමක්. සමන්තිගේ පොටෝ එකක් තියෙනවා මා ලග. මේ තියෙන්නේ.   

පොටෝ එක දිහා බලලා එහෙම එකපාරටම හොයන්න අමාරුයි දවසක් දෙකක් ඉන්න වෙයි 

අපෝ රත්නේ අයියා එහෙම බැ මෙයා තව දවස් දෙක තුනකින් ආපහු යන්නත් ඕනා.

නෑ කමක් නැ රාළ අයිය්යේ මම ඉන්නම් කොම හරි සමන්තිව හොයාගන්නකම්ම (නොදොකිම් මාරි මෝඩයා)

එහේනම් රාළ මල්ලි අව්ලක් නැනේ මට දවස් දෙක තුනක් දෙන්නකෝ මම විස්තර හොයලා කියන්නම් 
(මදක් හඩ බාලකරමින්)  ඔයාට පුලුවන්නම් මට ඔයාලට කෝල් කරන්න රිලෝඩ් එකක් දාගන්න පොඩි ගතමන්ට් එකක් දීලා යන්න 

හරි අයියා ඉන්න ඉන්න මම දෙන්නම් කියලා පර්ස් එක ඇද්ද මනෝජා රිංගිට් සීයක්ම දුන්නා කියාන්කෝ . ඒ පාරනම් කට ඇරුනේ මගේ.  එක ගත්තු රත්නේ වාෂ්ප උනේ මම පියවි සිහියට එන්නත් කලින්

ඇයි බන් මොට්ටයෝ එක පාරට මැදට පනින්නේ  බොලා මද්දුම බණ්ඩාරලාගේ පරම්පරාවේද ?

නෑ රාළ අයියේ මගේ මේ මගුල් වලට ඔයා වියදම් කරන්න ඕනා නෑනේ.

වියදම නෙමෙයි ගස් ගෙම්බෝ මම කිව්වේ එහෙම ඉල්ලුව ගමන් සල්ලි දෙනවද ? ඉස්සෙල්ලා අහන්න ඕනා හරියටම වැඩේ කරන්නේ කවදද? කරේ නැත්නම් දුන්න සල්ලි ආපහු දෙනවද ? අනික රිලෝඩ් එකක් දාන්න කියක් හරි ඉල්ලුවම උබ සියක් දුන්නේ දහයක් දුන්නනම් හොදටම ඇතිනෝ හරකෝ. අනික ඕකා ගල් ආදා. දත ගලවන්න පුළුවන් කියලා දැනුනොත් කටේ විතරක් නෙවි උබේ අහවල් තැන තියෙන දතුත් ගලවලා තමයි පස්ස බලන්නේ.  

සමාවෙන්න අයියේ මට ඕනා  කොහොම හරි සමන්තිව ඉක්මනට හොයා ගන්න 

හරි හරි දැන් අඩන්නී නැතුව ඉදින් . මිට පස්සේ මම වැඩේ කරනකම් උබ බලන් ඉදින් මේ ලංකාව නෙවි මෙහෙදී අපි බේරිලා කල්පනාවෙන් වැඩ කරන්න ඕනා මේ රටේ මිනිසුන්ගෙන් නෙවි ලංකාවේ අපේ එවුන් ගෙන්. 
දැන් යමන්

ගත වුයේ දිනක් පමණි රත්නේ අයියා මට කෝල් කරාය

මේ අර පොඩි එකා ගියාද 

ඌ යන්නේ නෑ බන්, උබ කෙල්ල හොයලා දෙනකම්.

මේ රාළ මල්ලි ඔයාට පුලුවන්ද හවස ඇවිල්ලා මාව හම්බ වෙන්න? 

ඇයි වැඩේ මොකක් හරි අව්ලක්ද ? මම එහෙනම් වැඩ ඉවර වෙලා එන ගමන් හවස එන්නම් 

මේ රාළ මල්ලි එක්කොත් ඕනා නැ ඕය කොල්ලට ඔන්න ඔහේ ආපු අතක් බලා ගෙන යන්න කියාම්.

ඒ මොකෝ බන් එහෙම කියන්නේ උබ ඔය කියන කෙල්ල හොයා ගත්තද කියපන්කො ඉස්සෙල්ලා 

කෙල්ලව හොයා ගන්න එක නෙවෙයි වැඩේ හොයා ගත්තට ඇති වැඩක් නෑ 

ඒ උබටයි මටයි නේ වැඩක් නැත්තේ, එත් ඕන කරන වැඩේ අර කොල්ල කර ගනිනේ. උබ කෙල්ලව හොයලා දියන්කෝ 

ඔය කියන විදියේ කෙල්ලේක්ව අර සැලුන් එක කරන මයන්තගේ නෝනා දන්නවලු. හැබැයි ඒ කෙල්ලෝ ඉන්නේ තනියම නෙවි තව කෙල්ලො සෙට් එකක් එක්ක. එතන උන් කරන්නේ වෙන ගෙමක්ලු.

ඈ. ඒ කියන්නේ මේ කෙල්ලොත් 100 කෑලිද

නෑ නෑ මම හිතන විදියට එහෙම සින් එකක් නෙවි ඉට වඩා ටිකක් බරපතල ගේමක ඉන්නවා කියන්නේ 

මොකක් කිවා.? මොන අන්ඩර දෙමලක්ද බන් කියන්නේ? 100යේ කෑල්ලකුත් නෙවිනම් වෙන මොන මගුලක්ද 

මුන් නිකං කප්පම් ගන්න ඔය හෙන ගැන්ස්ටර් කල්ලි තියෙන්නේ අන්න ඒ  වගේ එකක් 

කප්පම් ගන්න ? උබ කියන්නේ එතකොට අරු ඇවිල්ල තියෙන්නේ කප්පමක් ගෙවන්න කියලද? පිස්සුද බන්? උබට වැරදිලා 

එක  මෙන්න මෙහෙමයි කියන්න මට තේරෙන්නේ නෑ . උබ ඔය කොල්ලව යවපන් යවලා පාඩුවේ ඉදපන් ඔවයී පැටලෙන්නේ නැතුව

යකෝ කොල්ලව යවන එකනම් කරන්න පුළුවන් කියමු එත් පාඩුවේ ඉන්න පුලුවන්ද මේ  රාළට ඕක ගැන හොයන්නේ නැතුව.

රත්නේ අයියා එහෙම බැ කොල්ලා ගැන පස්සේ බලාගමු ඔය  කප්පම් සින් එක මොකද්ද කියලා මට කියපන්කො මං එනවා අද හවස ඔයා ඉන්න තැනක් කියන්න මට 

හවස රත්නේ අයියා මට හමුවීමට එන්න කිව්වේ කොම්ප්ලේක්ස් එකේ ඇති සිංහල අයිතිකරුවෙකුගේ සැලුන් එකකටය. නමින් මයන්ත වන ඔහු හා ඔහුගේ බිරිද වන ටෙක්ලා සමගින් මා සමග කතාව පටන් ගන්නා ලදී.

රත්නේ: මයන්ත මහත්තයා දන්නවනේ මේ රාල මල්ලි තමයි අර විස්තර ඇහැව්වේ ?

මයන්ත: මේ මල්ලිව මම දන්නවා එතකොට කෝ සිංගප්පුරුවෙන් ආපු කෙනා.?

මම: එයාව එකපාරට ගෙනාවේ නෑ මම. මොකද මිනිහා ඔය කෙල්ලට වහ වැටිලා දැන් පැණි බෝතලේ ඇඹලයා වගේ වෙලා ඉන්නේ. මොකද්ද විස්ත්තරය කියලා දැනගෙන හිමිට තමයි මැන්ට කියන්න ඕනා.

ටෙක්ලා: අපිත් එහෙමට කියන්න දන්නේ නෑ එත් සුවර් එකට දන්නවා ඔය ගෙදර මොකක් හරි ජාවාරමක් තියෙනවා කියලා

මම: හරි ඔය පොටෝ එකේ ඉන්න සමන්ති ඔය කියන ගෙදර ඉන්නවද?

ටෙ: ඔව් පොටෝ එකේ ඉන්න කෙල්ල එහෙ ඉන්නවා හැබැයි එයාගේ නම සමන්ති නෙවි 

මම: එහෙනම් ? පියුමිද උමාරියද?

ටෙ: අපිට කියලා තියෙන්නේ එයාගේ නම සංජු කියලා 

මයන්ත: මම කියන්නේ එකයි ඔතන ජාවාරමක් නම් වෙනවා?

මම: නම පොඩ්ඩක් එහෙට මෙහෙට උනා කියලා එහෙම ජාවාරමක්ම වෙනවා කියන්න පුලුවන්ද?

ම: නෑ .. නෑ  නම වෙනස හින්දා නෙවි ඔය ගෙදර ඉන්නේ ගෑනු කෙනා කලින් මෙහෙ සැලුන් එකක වැඩ කරේ බොහොම අමාරුවෙන් තමයි හිටියේ. එත් එයා සම්බන්දයක් ඇතිකර ගත්තා ඔය ඒජන්ට් වැඩ කරන බණ්ඩාර කියන කෙනත් එක්ක ඊට පස්සේ ඔන්න තව කෙල්ලෙක් ආවා ඔය ගෙදරට. ඊට පස්සේ තවත් කෙනෙක් ඔහොම දැන් ගැණු ළමයිම පස් දෙනෙකුට වැඩි. අනික දැන් ඒ එක්කෙන්ක්වත් කොහෙවත් වැඩට යන්නෙත් නෑ. ඒ උනාට කට්ටියට පුදුම සල්ලියක් තියෙන්නේ සතියට දෙපාරක් වත් හෙන ෆෙෂල් දාගේන, කොන්ඩ පාට දාගෙන, ඒ මදිවට අර මනි ලෝන්ඩ්රින් කරන අයියා කිව්වා එක කෙල්ලෙක් මාසෙට රිගිට් තුන් හාර දාහ ලංකාවට දානවා කියලා. (රුපියල් එක්ලක්ෂ විසි දාහත්  එක්ලක්ෂ පනස්දාහත් අතර ගානක්)

ර: කොහොමද වැඩේ එකයි මම කියන්නේ ඕවට අත දාන්නේ නැතුව අපි පැත්තකට වෙලා ඉමු කියලා
      
මම: එයාලා පිට යන්නේ නැති උනාට ගෙදරට කට්ටිය එනවා ඇති. (මම කිව්වේ මට හිතිච්ච දේ)

ම: නැ මෙතන එහෙම දෙයක් වෙන්නේ නැ ඒක ෂුවර්. ඒ වගේම මෙයාලා එළියේ වෙන වැඩකට යන්නෙත් නැ.
එත් ගේ ඇතුලේ ඉදං වෙනම ගේමක් ගහනවා.

මම: හරි එහෙනම් අපි ඔය කෙල්ලගෙන් කෙලින්ම් අහමු මොකද්ද ඔයාලගේ ආදායම් මාර්ගේ කියලා?

ටෙ: එක අපි ඇහැව්වා මල්ලි දෙතුන් සැරයක්ම ඒයාලා කියන්නේ මොකද්ද ඉන්ටර්නෙට් එකේ වැඩ වගයක් කරනවා  ගෙදර ඉදන්ම කියලා. ඒවා ලොකු කොම්පැනිවල එකවුන්ට් වැඩලු. යකෝ මෙහෙ ඔය එකවුන්ට්  කෝම්පැනි වෙන නැතුවද? මේ අම්මණ්ඩිලා හතර පස් දෙනෙක්ට දීලා ඕවා කරවන්නේ. මුන්ගේ බොරු.

මම: එතනනම් තියෙන්නේ පැහැදිලි ඉරිසියාව (මම කිව්වේ නෑ හිතුවා) 
ඔය අපේ සී ලාංකිකයන්ගේ තියෙන නොපසුබස්නා ඉරිසියාව තමයි ගොඩක් අපරාද හෙලිකරගන්න මග පාදන්නේ ඕක මම අත්දැකීමෙන් කියන්නේ මොකද මමත් සී ලාංකිකනේ. 

මම කියන්නද හොද වැඩක් ඔයාලට පුලුවන්ද මට ඔය කෙල්ලව එක සරයකට මුණ ගස්වන්න විනාඩියකට දෙකකට මම පොඩි චාටුවක් දාලා පොටක් පාද ගන්න බලන්නම්. (කියන්න බෑනේ එක ගලෙන් කුරුල්ලෝ දෙක තුනක් පත බැ  උනොත් ?) 

ර: එක නම් හොද වැඩක් නෙවෙයි රජෝ ඔය කෙල්ල මෙතනට තනියම ආවට ඒ කෙල්ල පිටිපස්සේ ඉන්නේ ලේසි පාසු කට්ටිය නෙවි. 

ටෙ: ඔව් එක ඇත්ත මල්ලි ඔය බණ්ඩාර එක්ක ඉන්නේ මෙහෙ ටැමිල් ලෝකල් ගැන්ස්ටර්ලා. නිකං නැති පස්නයක් දාගත්තා වෙයි.

මම: ඉතින් ඔයාල ඔහොම බය උනොත් අපිට උන්ගේ ජාවාරම හොයා ගන්න වෙන්නේ නෑනේ. අඩු ගානේ එයාලව ටිකක් හරි බය කරන්න පුළුවන් මොන විදියටද කියලා ඔයාලට අදහසක් නැද්ද?

ර: ඔය ගැන්ස්ටර්ලා මෙහෙ පොලිසියටවත් බය නැ බන් ඉතින් මොකක් පෙන්නලද අපි උන්ව බය කරන්නේ?

මම: අපි ගැන්ස්ටර්ලට කතා කරන්න යන්නේ නැනේ මම අහන්නේ මේ කෙල්ලක්ව අල්ලන්න විදියක් නැද්ද ?

මයන්ත: ඔය කෙල්ලන්ව පොඩ්ඩක් හරි සරෙන්ඩර් කර ගන්න පුළුවන් එම්බසියේ කාව හරි මැදට දාන්න පුළුවන් නම්

මම: යකඩෝ එකෙත් හැටි බලාංකෝ අපි සත පහකට ගන්න ගන්නේ නැති එවුන්ට තමයි මහලොකු චන්ඩි කියන උන් බය වෙලා තියෙන්නේ. හරි මම එම්බසියේ එකෙක්ව මෙතනට ගේන්නම් ඔයාලට පුලුවන්ද හරියටම කෙල්ල එන දවසක්, වෙලාවක් මට කියන්න දවසකට විතර කලින් 

ර: අඩේ මල්ලි උබට එහෙම එම්බසියේ එකෙක්ව ගෙන්න පුලුවන්ද?

මම: එක මමනේ කරන්නේ මයන්ත අයියට පුලුවන්ද දවසකට කලින් මට කියන්න?

මයන්ත: එකනම් එච්චරම ආමාරු වැඩකුත් නෙවි මොකද මෙයාලා සාමාන්‍යයෙන් කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි සැලුන් එකට එන්නේ ?

ටෙ: ඒ උනාට මල්ලි මෙතන ඔය කතාව කරන්න ගිහින් එම්බසියේ අයත් ඇවිල්ලා මොකක් හරි ජරමරයක් උනොත් පස්සේ අපිටත් පස්නයක් වෙයිද දන්නේ නැ 

මම: අපෝ ඔයා බයෙනේ එතකොට කොහොමද විස්තරේ දැනගන්නේ? එහෙම ඔනොත් ඔයාට කවමදාකම වත් මොකද්ද එයාලා කරන්නේ කියලානම් දැනගන්න ලබෙන්නනේ නෑ. තව ටිකදවසක් උන් ඔහොම ඉදලා මෙතන සැලුන් එකකුත් දාගත්තොත් තමයි වැඩේ.

(කොමද රාළගේ ටෝක් එක නිලෙට දෙන්නේ )

මයන්ත: මම වෙලාව කියන්නම් ඔයාලා අහම්බෙන් ආවා වගේ ඇවිල්ලා මෙතන එළියේදී කතාව දාලා බලන්නකෝ

ටෙ: ඔව් එහෙමනම් අව්ලක් නැති වෙයි කොහොම හරි මොකද්ද වෙන්නේ කියලා හොයා ගන්න කෝ 

දින දෙකකට පසු මයන්ත කෝල් කර මට දැන්නුවේ පහුවදා හවස 3ට  අර සංජු නොහොත් සමන්ති සැලුන් එකට එන්න අපොයින්ට්මන්ට් එකක් ලබාගත් බවයි මම වහාම මයන්තට කිව්වා එහෙනම් මම එම්බසි කාරයා සමග ඒ වෙලාවට එතනට පැමිණෙන බව.

එත් ඇත්තෙන්ම එහෙම ගෙනයන්න එම්බසියේ කෙනෙක් මාලග සිටියේ නැත. එය දෑන සිටියේ මා පමණි.

පසුදා හවස අදාළ තැනට කිට්ටුව තැනක සිට මම, මයන්තට කෝල් කර පැවසුවේ එම්බසියේ එකා එන්න පරක්කු වෙන නිසා මම තනිවම පැමිණෙන බවත්, මා එන විට අදාළ තැනැත්තියට ඇසෙන පරිදි මා එම්බසියේ කෙනෙක් බව පවසන ලෙසය.  

තුනට විනාඩි කීපයක් තිබියදීම මනොජ්ගේ පොටෝ එකේ සිටි රූමතිය සැලුන් එකට පාත් උන අතර, කෙල්ල බැලීමට පැමිණි මනෝජ් හෝටල් කාමරයේ තරුමල් යායම පොඩි කරමින් සිටියදී, ජැන්ඩියට හැදපැළදගත්  රාළයා, දුනු හී අමෝරාගෙන සැලුන්ගත විය.

සෙස්ස පස්සට.... 







Monday 8 February 2021

අනේ මෙහෙම තණ්හාවක් .....අනේ මෙහෙම ආසාවක් ...... මිනිසුනේ ලැබේද මින් සැනසීමක්.?????..... 3

පට්ටපල් අමුලික ඇත්ත කෙටි කතාමාලාවේ හතරේ තුන...


හලොඕ මේ රාළ අංකල් ද ?

මොකෑ කිව්වා.   අංකල් !
කව්ද යකෝ උදේ පාන්දර ජාතිය අමතගන්න හදන්නේ ..
රාළ කිව්වා නෙවි හිතුවා ඒ වෙනුවට කිව්වේ රාළ නම් තමයි එත් අංකල් කෙනෙක්නම් නෙවි එල කොල්ලෙක් කියලා 
අනේ සොරි මහත්තයා මම මේ මනෝජ් කියලා අර රජමහ විහාරේ ලොකු හාන්දුරුවො තමා නොම්මරේ දුන්නේ.  ඕ. එංගලන්තේ ඉදන් ආවේ.

ආ  දැන් දන්නේ මංනේ කිව්වලු. ඒ මේ ඔයාද ? 

අනේ සමාවෙන්න මහත්තයා හාන්ඳුරුවන්ගේ යාලුවෙක් හින්දා මම හිතුවී අංකල් කෙනෙක් වෙන්න ඇති කියලා

ඈ  බන් බොලා හාන්දුරුවෝ කොල්ලොන්ට ආස නැතෙයි. අංකල්ලා විතරද එයාගේ යාලුවන්ට ඉන්නේ ?
යකෝ මම උබට වැඩිය අව්රුදු හතරක් පහක් වැඩිමල් ඈති. 

අයියා මොනා කියනවද මන්දා .

අයියා!  අන්න  එහෙම වරෙන්. දැන් උබ කොයිද ඉන්නේ

තාම එයාර් පොර්ට් එකේ 

හරි උබ ඔතනින් බස් එකේ හරි කෝච්චියේ හරි නැගලා KL සිටි එකට වරෙන් ඊට පස්සේ සිටි එකේම හෝටලයක් සෙට් කර ගනින් උබේ බජට් එකට සෙට් වෙන ටිකක් දවල් වෙලා මම එන්නම් උබව හම්බ වෙන්න.

අනේ තැන්කිව් අයියා. අපි එහෙනම් දවල්ට හම්බවෙමු

ඔන්න ඔහොම තමයි අර තැලිච්ච පොඩි වෙච්ච නැති කොල්ලා මාව මුලින්ම හම්බ උන්නේ. කොල්ලා කිව්වට ටිකක් නංගි කෙනෙක් වගේ ආදර බර චරිතයක් හා කතා බහක් තමයි මුට තිබුනේ.
දැන් බලමු මූ මොකද අච්චර හොද එංගලන්තේ දාලා මේ කඩප්පුලි මැලේසියාවට ආවේ කියලා.

අයියේ මම හෙන බයේ හිටියේ හාන්ඳුරුවන්ගේ යාලුවා අංකල් කෙනෙක් වෙන්න ඇති කියලා.

ඒ මොකෝ බන්

නෑ ඉතීම් එහෙම උනානම් මී විස්තරේ කියන්න මෙච්චර ලේසි නෑනේ..

ඇයි යකෝ දැන් මං මෙතනට ඇවිල්ලා පැයක් කිට්ටු වෙන්න එනවා තෝ තාම කිව්වේ නෑනේ කතාව.
හෙන කක්කා බරක් හැදිලා ටොයිලට් එක හොයාගන්න බැරුව වගේ මෙතන ඈබරි ඈබරි ඉන්නේ නැතුව දැන්වත් කියපන්කො.

නැ අයියා මට හිතා ගන්න බැ මේක කොතනින් කියන්න පටන් ගන්න ද කියලා
 
තෝ ඔය ඔච්චර එකතැන බම්ප් වෙන්නේ සුවර් එකට කෙල්ලෙක්ගේ හුට්ටප්පරයක් ගැන නේද කියන්න යන්නේ  

අනේ.. අයියා ඔයා කොමද දැනගත්තේ?

අනේ දැන්වත් කියපන්කො කතාව. දැන් ඔය කෙල්ල ඉන්නේ මෙහේද ?

ඕ....ව්... එහෙම වෙන්න ඕනා

එහෙම වෙන්න ඕනා ! ඇයි එක මැලේ කෙල්ලෙක් නෙවිද? චීන එකක්ද 

නෑ ලංකාවේ කෙනෙක්.

හපොයි.!

ඇයි යකෝ ලංකාවේම එකක් ඕනනම්, ඉන්න එංගලන්තෙත් නැතිව, හිටපු ලංකාවෙනුත් නැතුව මේ  මැලේසියාවෙන් හොයා ගත්තේ ?

එක ටිකක් දිග කතාවක් අයියා. 

කොහොමත් මම හවස් වරුව නිවාඩු දාලා ආවේ කියපන්කො මුල ඉදන්ම විස්තරේ..
හරි අයියා මෙහෙමයි උනේ .. ඔයා දන්නවද තරුණයා කියලා වෙබ් සයිට් එකක් තියෙනවා.. ඔය ටෙලි නාට්‍ය පත්තර විස්තර එක එක හොට නිව්ස් එහෙම තියෙන..

ඔව් දන්නවා

අන්න එකේ වෙනම තියෙනවා ඔන් ලයින් චැට් එකක්. අපෙ ලංකාවේ කොල්ලෝ  ඉතින් නිවාඩු වේලාවට ඔකේ චැට් කරන එක තමයි කරන්නේ. එතනින් තමයි මට සමන්තිව මුලිනම් දැනහදුන ගත්තේ කොහොම හරි ටික කාලෙකින් එයා මට එයාගේ ස්කයිප් අයි ඩි එකත් දුන්නා ඊට පස්සේ අපි වීඩියෝ කෝල් වලින්ම තමයි කතාව.
කෙල්ල ලස්සනද? ඒ ගොන් පස්නය මගෙන්ය.  පස්නය කොච්චර ගොන් ද කියලා තෙරුනේ  කොල්ලාගේ උත්තරෙන්ය 

මම දන්නේ නැ අයියට ලස්සනද කියලා මටනම් මම දැකපු ලස්සනම කෙල්ල . කොටින්ම කියනවනම් මගේ හිතේ ඇදිලා තිබ්බ රූපේ. 

හරි දැන් ඉතින් ඊළගට ?

එයා අයියා මැලේසියාවට ඇවිල්ලා තිබුනේ ඔය බියුටි කචල් කොස් එකක් කරන්න 
මොකක්? යකෝ අද තමයි මම පලවෙනි පාරට බියුටි කචල් කොස් වලට ලංකාවේ කෙල්ලෝ මැලේසියා එනවයි කියලා දන්නේ 

එයාගේ අක්කා කෙනෙක් මෙහෙ සැලුන් එකක් වැඩ කරා එයා මාර්ගෙන් තමයි සමන්ති මෙහෙ ඔය කොස් එකට ඇවිල්ලා තිබුනේ ඇවිල්ලා පලවෙනි සතියෙම තමයි මාව සෙට් උනේ අර වෙබ් සයිට් එකෙන්. එක අපි දෙන්නගෙම ලබාඋපන් වෙලාව වෙන්න ඇති අයියා.
හරි ඉතින්
  
ඉතින් මස හතරක් විතර කාලේ ගියාම එයාගේ කොස් එක ඉවරේ වෙන්න ආවා. එත එකී ඊලග ස්ටෙප් එකට තව මාස හයක් එයාට ඉන්න පුළුවන් කියලා එයා එකේ ග්‍රේඩ් ටු එකත් කරන්න ගත්තා ඊට පස්සේ ඒ මාස හයත් ගෙවීගෙන ගියා ඒ කාලේවෙන කොට අපි දෙන්නා ගොඩක් තදින් බැදිලා හිටියේ. මම කෙලින්ම තීරණය කරලා තිබුනී එයාව බදින්න. මම අපේ අම්මටත් කිව්වා me සම්බන්දය ගැන. අම්ම බයේ හිටියේ මම සුද්දියෙක් එක්ක සෙට් වෙයි කියලා එත් ලංකාවේ කෙල්ලෙක් කිව්වම කවිරු උනත් කමක් නැ කිව්වා මට හොදනම් 
දැන් එහෙනම් මොකද්ද බන් පස්නේ 

පස්නේ පටන් ගත්තේ අයියා දැන් මාස තුනකට විතර කලින්,  ඒ කාලේ තමයි එයාගේ ග්‍රේඩ් ටු එක ඉවර වෙලා ග්‍රේඩ් ත්‍රි පටන් ගන්න තිබ්බේ. මම එයාට කිව්වා එක දැන්ම කරන්නේ නැතිව ලංකාවට යන්න මාස තුනකින් මමත් ආවම අපි ලංකාවේදී ගෙවල් වලට ගිහින් කතාකරලා මගේ මාස දෙකක නිවාඩු ඉවර වෙන කාලෙට ආයෙත් දෙන්නා ම එමු කියලා ඒයා මැලේසියාවට මම ඉංග්ලන්ඩ්. එත් එයා එකට කැමති උනෙම නෑ එයා කිව්වේ ග්‍රේඩ් 3ත් කරලාම ලංකාවට යනවා කියලා එතකොට තව මාස හයක් එයා මෙහෙ මම ලංකාවට ගිහින් ආයෙත් ඉංග්ලන්ඩ් මට එයාව හැබැහින් බලන්න තව අවුරුදු දෙකක් ඉන්න වෙනවා.

ඉතින් ? 

ඉතින්  බැරිම තැන මම , මම කිව්වේ එයා ඔන්න ග්‍රේඩ් 3 වලටත් සල්ලි ගෙවලා පටන් ගත්තා හැබැයි එක පොරොන්දුවක් පිට. ඒ තමයි මගේ සෙමෙස්ටර් බ්රේක් එකෙකි එක්කෝ එයා සතියකට හරි ලංකාවට එන්න ඕනා නැත්නම් මම ලංකාවට යන්න කලින් මෙහෙ එනවා කියන එක 

ආ ඔය තියෙන්නේ විසදුමක්

එත් එකට එයා ඒවෙලාවේ කැමති උනාට ටික ටික වෙනස් වෙන්න ගත්තා අන්තිමට දැන් මාසයක් වෙනවා මට කතා කරනෙම නෑ

ඈ එමොකද බන් ඒ ? වෙන කොල්ලෙක්ව වත් සැට් උනා වත්ද 

එකම තමයි මටත් තියෙන පස්නී අයියා එයාව මුනට මුණ ගැහිලා මට මේක දෙකෙන් එකක් විසදා ගන්න ඕනා එකේම එයාට කොල්ලෙක් ඉන්නවනම් එයාලා දෙන්නට දෙන්නා ආදරේනම් මම අමාරුවෙන් උනත් හිත හදාගන්නවා අයියා.

අනේ අඩන්න එපා නංගි. (මම එහෙම හිතුවා විතරයි කිව්වේ නැ ඒ වෙනුවට කිව්වේ මෙහෙම ) 

හරි දැන් කෙල්ලව ගිහිල්ලා හම්බ වෙලා කතා කරන්න උබ ඒ  ළමයාගේ ඇඩ්රස් එකක් වත් දන්නවද 

ඔව් අයියා මගේ ගාව එයාගේ ඇඩ්රස් එකක් තියෙනවා හැබැයි හරියටම මෙතන එයා ඉන්නවමද කියන්න මම දන්නී නෑ මොකද මේ ඇඩ්රස් එක එයා මට දුන්නේ එයාට මම අයි පොන් එකක් ඒවා එක එවන්න 

අම්මටසිරි නයා කිව්වලු උබ ඒකිට පොනුත් එව්වද 

හොද වෙලාවට එක එහෙම උනේ නැත්නම් ඇඩ්රස් එකක් වත් නෑ

කෝ බලමු ඇඩ්රස් එක අපොයි මේ මුතියාරා කොම්ප්ලෙක්ස් එකේනේ මෙතන ඉදන් පැය බාගෙක දුර  වරෙන් යන්න

මුතියාරා කම්ප්ලේක්ස් යනු තට්ටු හතරක්ම පුරා විහිදුනු මධ්‍යම ප්‍රමාණයේ ෂොපින් මෝල් එකක් හා එතනින් උඩට තව තට්ටු 30ක පමණ සෙමි ලක්ෂරි නිවාස සංකීර්ණයකින් යුතු ස්ථානයකි. මනෝජ් අත වූ ලිපිනය එහි එක නිවාසයකය. 

විනාඩි 30කදි පමණ අප එහි ලගා  වුවද අදාළ නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශය විසින් අපහට එම නිවාස කරා යාමට ඉඩ ලබා නොදෙන ලදී. ඒ එවන විට අදාළ ලිපිනයැති නිවසේ සිටි අය සමන්ති නමින් කිසිවකු එම නිවසේ  නැති බව එක හෙලා ආරක්ෂක අංශයට පැවසීම නිසාය 

දැන් මනෝජා නංගි ආයෙත් හැඩුම් බරවය

අප්සට් වෙන්න එපා බන්.. මේ මෝල් එක ප්‍රසිද්දම සැලුන් වලට අපි පොඩ්ඩක් ඇතුලේ ඇවිදලා බලමු ලංකාවේ කව්රුහරි ඉන්නවද කියලා 

අයියේ එහෙනම් සමන්තිලාගේ අර අක්ක වැඩ කරනවා ඇත්තේ සුවර් එකත මේකේ වෙන්න ඇති ගිහින් බලමු..

අපි දෙදෙනාට විදි දුරක් ඇවිදීමට හම්බ උනේ නැත මා නෙත ගැටුනේ එක්වරම ඒ දන්නා රුවකි ..

ඒ කව්ද කියලා දෑන ගන්න වෙන්නේ නම් කවදා හරි ලියන ඊලග කොටසින්ම තමයි