මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Wednesday 30 July 2014

IT කාරයොත් මනුෂ්‍යයෝය....


   IT කියන්නේ මාර විෂයක්ය. ඕකට සිංහලෙන් කියන්නේ ඉන්ෆොමේෂන් ටෙක්නොලජි කියාය එහෙමත් නැත්නම් කෙටියෙන් කියනවානම් තොරතුරු තාක්ෂණයයි... මෑත භාගයේ මිල මුදල් වැඩියෙන්ම හම්බකරන, වැඩිදෙනෙක් යොමුවෙන, රැකියා අවස්ථා එමට තියෙන, ෆීල්ඩ් එක මේ IT සයිඩ් එකයි...

    දැන් දැන් ලංකාවේ යන්තම් සා.පේ ට මුණ දෙන කොල්ලොත් (කෙල්ලොත් හොල්සෙල්) උ.පේ ට යන්නත් කලින් දගලන්නේ ඔය IT කරුමාන්තයෙන් ඉහලට යන්නය... ඉතින් මෙවුන් අර රිසාල්ට් එනකම් ගෙදර ඉන්නකම් ජාවා ඉගෙන ගන්න පටන් ගනී.... ඊට පස්සේ ඔරකල්ය.... අපිනම් මුලින්ම ඔරකල් ගැන දැනගත්තේ පොඩිකාලේ ශ්‍රී ලංකා රුපවාහිනියෙන් ඕස්ට්‍රේලියන් නළුනිලියෝ දාලා කරපු මායා
බන්දන ටෙලිය බලන කාලයේය... එකේ හිටපු අශ්කා අක්කා මේ ඔරකල් අරගෙන අර අහිංසක පෝල්ටයි එයාගේ නංගිටයි, යාලුවාටයි ඒ යාලුවාගේ එළ කැල්ලටයි පුදුම වදයක් දෙනවාය.... කොහොම හරි දැන් මේ IT කාරයොත් ඔය ඔරකල් අල්ලාගෙන මාර මාර ගේම් දෙනවාය..

   ඉතින් මෙයාලා ඔරකල් අල්ලාගෙන මොන ගේම ගැහැව්වත් මටනම් කමක් නැත. නමුත් අර ආශ්කා වගේ අනෙක් අයට වද දෙන්න ගත්තමනම් මේ රාල වගේ අනික් උන්ගේ උණට කහින පොරවල් වලට තදට මල පනිනවාය.
............................................................................................................

  ඇත්තෙන්ම මොකද්ද මේ රාළයා අද කියන්න තටමන්නේ ????
මෙන්න මේකයි කතන්දරේ පහුගිය පොස්ට් දෙකම මැර කාකා ලිව්ව ඇත්තපච කතාවල  මීළඟ ඇත්ත පච කතාව මැර කාකා ලියන්න කලින් රාළට හිතුනා පොඩි පුර්විකාවක් වගේ එකක් ලියන්න. අන්න එක තමයි මේ...
............................................................................................................

   ඇත්තෙන්ම මේ IT කරුවන් බොහොමයක් ඉතා අඩු වයස්වල අයය. ඒ වාගේම බොහෝවිට මොවුන් සා.පෙල ට හෝ උ.පෙල ට පසු අවුරුදු තුනක් හතරක් හෝ පහක් වැනි කාලයක් ඉතා තදින් තම විෂය ක්‍ෂ්ත්‍රය හදාරන පිරිසකි (එහෙම නොකරන්නන් ඔය කාලය තුල හැලියති) ඉන්පසුව වැඩ පෙන්නන්න පුළුවන් ආයතනයක තවත් අවූරුදු දෙක තුනක් ඇතුලත තම වෘත්තිය හැකියාව ඔප්නංවා, වැඩිදුර අධ්‍යාපනයට හෝ වඩාත් හොඳ රැකියා අවස්ථා සඳහා මැලේසියාව වැනි රටවලට බොහෝ පහසුවෙන් සංක්‍රමණය වෙති. 
 මීළඟට මොවුන්ගේ සමකාලීනයන් වන්නේද එවැනිම පසුබිමක සිටින ඉන්දියානුවන් හෝ බංග්ලාදේශ් ජාතිකයන්ය. වයස විසි ගණන් වල අග සිටින මොවුන් බොහෝවිට කාසද බඳින්න බලාපොරොත්තුවෙන් හෝ බැඳපු ගමන් අය වෙති.


 ප්‍රශ්නය ආරම්භ වනුයේ ඔතනින්ය. මේ තනිකඩයන්ට (හෝ නව විවාහකයින්ට) මීළඟට අවශ්‍ය වනුයේ නිවසට ගෘහ සේවිකාවකි. මීට අවුරුදු දෙක තුනකට පෙර කාලයේදී මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ පිලිපීන හා ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ය. අපරාදේ කියන්න බැරි ඔවුන්ගේ සේවයනම් පට්ට පට පටය... උදේම තම ස්වාමියන්ගේ ආහාර පිළියෙළ කොට ඔවුන් වැඩට යවා අනෙකුත් ගේදොර අස්පස් කිරීම්, රෙදි සේදීම් ඇතුළු සියලු දේ නිමවා පසුව රෑවෙලා පැමිණෙන ස්වාමියාට අවශ්‍ය(නම්) අනෙක් පහසුකම්ද සලස්වා දෙයි.

නමුත් දැන් දැන් මෙම ඉන්දුනීසියානු හා පිලිපීන අය තමන්ගේ නියම වටිනාකම තේරුම් ගෙන තම රටේ රජය හරහා මැලේසියාවත් සමග ගිවිසුම් ගතව ඇත්තේ මේ පිළිවෙලටය.. එනම් පිලිපින් ගෘහ සේවිකාවක් නම් අවම වැටුප පමණක් අනිවාර්යයෙන් RM 1600ක් විය යුතුය ඉන්දුනිසියන්නම් RM 1200කි. නමුත් ලංකාවේ හා ඉන්දියානු අයට මැලේසියානු රජයෙන් එවැනි අනිවාර්ය මිලක් පනවා නොමැත. ඒත් ලංකාවේ තානාපති කාර්යාලය පවසන්නේ අවම වැටුප RM 850ක් (රු34,000ක් පමණ) වත් දෙන්නේ නැතිනම් නිත්‍යානුකුලව ලබා දෙන ගෘහ සේවිකා වීසා බලපත් සඳහා අනුමත ලියකියවිලි ලබා නොදෙන බවය. 

   නමුත් අම්මටසිරි ලංකාවටම දෙවැනි නොවන මේ මැලේසියාවේද ඕවා වැඩිමනත් සිදුවන්නේ නිත්‍යානුකුල නොවන ආකාරයටය. ඒ අනුව විසිට් විසා මගින් ගෘහ සේවිකාවන් හොල්සෙල් එකේ මෙරටට පැමිණේ. එසේ පැමිණෙන අයට බොහෝවිට සේවය කිරීමට ලැබෙනුයේ අර මා මුලින් විස්තර කල වෘර්තිකයන්ගේ නිවෙස් වලය. 

  දැන් දැන් ඇතිවී ඇති තත්වය වන්නේ මේ ගෘහ සේවිකාවන් සැපයීම අර ශ්‍රී ලාංකිකයින් තම අතට ගෙන ඇති බවක්ය. එනම් ඔවුන් තමන්ගේ හා තම ඉන්දියානු මිතුරන් සඳහා ලංකාවෙන් කාන්තාවන්ව මෙහෙට ගෙන්වා ගනිමින් සිටි. ඒ සඳහා ඔවුන් තමන්ගේ බොහොම දුරඈත පලාත්වල මිතුරන් හා නෑදෑයන් මාර්ගයෙන් එම කාන්තාවන් මෙහෙට ගෙන්වා ගනුයේ  කිසිදු මුදලක් අය නොකරය..

 නමුත් ඔවුන් මෙහෙ ආපසු අවම වශයෙන් උදයේ 4 වන විටවත් අවදි විය යුතුය, ඉන්පසු කෑම පිසීම ආදිය සිදුකොට උදේම ස්වාමියා වැඩට පිටත් කොට නිවස, නාන කාමර ඇතුළුව පිරිසිදු කිරීමත් රෙදි සේදීම, අයන් කිරීම ,රෙදි අස්කිරීමත් නැවත රාත්‍රී ආහාර පිසීම, ඒවා පිළිගැන්වීම ඉන්පසු අස්කිරීම යනාදිය සියල්ල නිම වීමට රෑ 10 පමණවත් වේ. බොහෝවිට තනිකඩයන් සිටින නිවෙස් වල වෙනත් අවශ්‍යතා පිරිමැසිමටද සිදුවේ. නමුත් සතියේ දින හතේම සිදුවන මේ සියල්ල අවසානයේ ඔවුන්ට වැටුප හැටියට ලැබෙන්නේ අර ගෙන්වන්න මුලික වුවන්ගේ උපදෙස් මත රුපියල් 25000ක් 30000ක් අතර ප්‍රමාණයක් පමණි. ඒ කියන්නේ අපේ අයියලා තම බොසාගේ නැත්නම් මිතුරාගේ හොඳහිත වෙනුවෙන් තවත් අපේම සොයුරියක් වහල් සේවයේ යොදවයි. 

   ඇත්තෙන්ම මා මේ ලිපියෙන් ගෘහසේවිකාවන්ට සිදුවන ගැහැට ගැන කතා කරන්නට නොයන්නෙමි. එත් ඇත්ත තත්ත්වය හා නියම වටිනා කම ඔබට ඒ අය වෙනුවෙන් ලබාදිය නොහැකිනම් මේ අවාසනාවන්ත තත්ත්වයන්ට තම සොහොයුරියන්, මිතුරියක් වැනි අපේ සිංහල කාන්තාවන් පත්වීමට ඇති ඉඩකඩ අහුරන මෙන් බොහොමත්ම හිතෙශිව ඉල්ලා සිටිමි. 

 පසුගිය කාලයේ සිදුවූ සිද්දීන් කිහිපයක අත්දැකීම් මත (හා මැලේ රාලට ඔය IT ඉංජිනේරුවෝ ගැන තියෙන පෞද්ගලික ඉරිසියාව නිසා) මේ සංසිද්දීන් වලට මා විසින් IT ඉන්ජිනේරුවන්ව ලඝුකොට ලිපිය ලියුවත්, බොහෝ වෘතිය මට්ටමේ වීසා (Professional  Workers) මත මෙහි රැදී සිටිමින් රැකියා කරන්නන් බොහොමයක් ඔවුන්ට ඇති ගෘහසේවිකාවක් තියා ගත හැකි අයිතිවාසිකම මෙලෙස අයුතු ආකාරයට යොදාගන්නා බව ඉතා කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.. 

එසේනම් මේ පුර්විකාවෙන් පසු මීළඟට මැරකාකා ලියන තුන්වන ඇත්ත පච කතාවෙන් හම්බ වෙමු (IT කාරයෙක්ගෙන් ගුටිකා මළේ නැත්නම්)



    

Tuesday 22 July 2014

පට්ටපල්, අමුලික ඇත්ත කෙටි කතා මාලාවේ.... දෙක

ඔන්න එහෙනම් දෙක 




නිසාන්තගේ වික්‍රමය  

       ඇතුගල ගමේ මායිමක තමයි නිසාන්තගේ තාත්තාට අයිති පොල්වත්ත තිබුනේ වැඩිමහල් සහෝදරියන් තුන්දෙනෙක්ට පස්සේ පවූලේ එකම පිරිමි දරුවා උන නිසාන්තට  ඉගෙනිමනම් හොදින් පිහිටලා තිබුනේ නෑ..  එත් දේව මල්ලියෙකුට අයත් ඒ පාලාතේ පොරසිද්දම පාසලට ගිය නිසාන්ත යන්තම් සා.පෙ ගොඩ දාගත්තට පස්සේ කළා අංශයෙන් හරි උ.පේ කරන්න කියලා ගෙදරින් බල කෙරුනා.

    යන්තම් උ.පේ කඩ ඉමත් බොහොම අමාරුවෙන් ගොඩා දාගත්තත් එතැනින් එහාට ඉගෙන ගන්නනම් නිසාන්තට ඕන උනේ නෑ.... කවදා හරි තමන්ට වඩා හොඳින් තම පරම්පරා ගත පොල්වත්ත එකම පුතා පාලනය කරයි කියන මහත් බලාපොරොත්තුවෙන් සිටිය පියාට මේ ඉගෙන ගැනීමේ මට්ටමනම් කොහෙත්ම සෑහුනේ නෑ...  එත් දැන් ඉතින් වෙන කොරාන්ට දෙයක් නැති නිසා තාත්තා පුතාට  පොල්වත්තේ වැඩ පුරුදු කරන්න පටන් ගත්තා. 


වත්ත මැද්දේ නිසලව, අලසව ගෙවීයන කාලයත් එක්ක මේ වතුපාලනය දැන් දැන් ටික ටික නිසාන්තට එපාවේගෙන එන්නේ.. එත් කවදා හෝ අල්ලපු වැටෙන් වෙන්වෙලා තියෙන පොල්වත්තෙන් කොටහකුත් තමන් සතුකර ගන්න හින දකින තම පියාට  එරෙහිවන්න නිසාන්තට හිතුනේ නෑ .

   එක්තරා සති අන්තෙක නගරයට ගිය නිසාන්තට තම පාසල් සගයෙකු මුණ ගැහෙන්නේ අහම්බෙන්. ඔහු නගරයේ පොරසිද්ද මහල් කීපයකින් යුතු සාප්පු සංකීර්ණය අයිතිකරුගේ පුතා. තමන්ගේ අලස ව්‍යාපාරය ගැන කන්කෙදිරිගාන  නිසාන්තට මිතුරාගෙන එන්නේ සීග්‍රගාමී ව්‍යාපාර අදහසක්, 

මිතුරා: - උබ එහෙනම් කම්මැලිකම යන්නත් එක්ක ඊලග  සැරේ වරෙන් මාත් එක්ක රෙදි ගේන්න ඉන්දියා යන්න, 

නිසාන්ත:- අපෝ අපේ තාත්තාගෙන් ඕකට සල්ලි ගන්න ලේසි වෙන එකක්  නෑ බන්...

මි:- උබ තාත්තාගෙන් ලෝන් එකක් ගහපන්... ලක්ෂ 3ක් විතර... ටිකට් එකටයි එහෙ ඉඳුම් හිටුම් ඇරෙන්න ඉතිරි ඔක්කොම සල්ලිවලින් මෙහෙ ආපු ගමන් විකිනෙන බඩු  ටිකක් මම උබට අරන් දෙන්නම්,.. ඒවාවල ලාබයෙන් උබේ වියදම් ටික කෙලින්ම කවර් කර ගත්තැකි... උබ ලක්ෂ පහක් විතර අරන් ආවොත් එකෙන් එන ලාබෙන් වියදම් ඇරලා අතටත් ගානක් ගන්න පුළුවන්,
  
නි:- හරි මම තාත්තා එක්ක කතා කරලා උබට කියන්නම්කො, 

    මාස කීපයකින් පැවැත්වීමට දින නියම කරගෙන තිබු පවූලේ ලොකු දුවගේ විවාහය සදහාත් අවශ්‍ය සාරි අඩුමිලට මිලදී ගැනීමට ඇති හැකියාව නිසා නිසාන්ත හිතුවටත් වඩා පහසුවෙන් ඉන්දියාගමනට අවසර හා මුදල් ලැබුනා.. නිතර ඉන්දියාවෙන් රෙදිපිළි ගෙනවිත් තිබු මිතුරා කිසිදු ගුරුමුෂ්ටියක් නැතුව ගනුදෙනු කෙරෙන තැන් හා විදිය නිසාන්තට කියා දුන්නේ නියම මිත්‍රත්වය මොනවට කියා පාමින්.. (හරියට පත්තරයයි ඉවානුයි වගේ) අවශ්‍ය ප්‍රධාන සියලුදේ රැගෙන අතේ ඉතිරි මුදල් වලට හරියන්න සුළු භාණ්ඩ ගන්න ගිය අවසාන දවසේ මිතුරන්ගේ කතාබහ මෙන්න මෙලෙසයි, 

මිතුරා:- උබ ගෙදරට ගත්ත සාරි ටික නිකන් ලැබුනා කියලා හිතාගනින්... ඔය ගත්ත අනික් සාරි ටික වික්කම ඒවාවල ගාන නිකන්ම කවර්  කර ගත්තැකි.... අද ඔය ටොයිස් අයිටම් ගනිද්දී මතක ඇතුව රුපියල් 25000ක් විතර අතේ ඉතුරු කර ගනින් ලංකාවේදී ටැක්ස් ගෙවන්න.... 

නිශාන්ත:- හෆොයි මට ඒක අමතකම උනානේ .... මේ බඩු කන්දරාවටම 25000ක් ඇතිද බන්,
මිතුරා:- මේ ටිකට හරියට ටැක්ස් ගැහැව්වොත් ලක්ෂේත් පනිනවා.... එත් 25000න්  ගේම ගොඩ දාගන්න කොරෝම තියෙනවා ඒ ටික මම උබට එතැනදී කියලා දෙන්නම්කෝ, 

  නැවත මව්රටට පය තිබ්බට පසු නිසාන්ත මිතුරාගේ අවසන් පාඩම ඉගෙන ගන්නා ලදී,  එනම් රජයේ ටැක්ස් නොව සාමාන්‍ය ටැක්ස් වටිනාකමින් හතරෙන් එකක් පුද්ගලයෙකුට ගෙවා ටැක්ස් අයකරන්නන්ගේ සහයෝගයෙන්ම ටැක්ස් නොගෙවා බඩු  ටික එලියට ගැනීමයි.

  මෙසේ සාර්ථකව තම පළමු ව්‍යාපාරික විදේශ සංචාරය නිමකළ නිසාන්ත තව වසර දෙකක් ඇතුලත මෙවැනි ඉන්දියන් ගමන් දහ දොලෝස් සැරයකට වඩා යෙදුනු ප්‍රවීනයෙක් බවට පත්වී තිබුනා. 

   කතාව ආරම්භවනුයේ දැන්ය. සුපුරුදු පරිදි දිනක් ඉන්දියන් සංචාරයකට පසු  ගුවන්තොටේ සියළු පෙර සුදානම් සහිතව කස්ටම් අංශය පාස්කිරිම සඳහා යන නිසාන්තවෙත පැමිණෙන්නේ එම නිල ඇඳුමම හැදගත් නිලධාරියෙකි... 

   ඔයා අපේ සෙටින් එකකින් නේද මල්ලි යන්නේ අසමින් පැමිණ ඔහු නිසාන්ත අත පත්කරනුයේ ලීටර් එකහාමාරකින් යුතු වටිනා විදෙස් මත්පැන් බෝතලයකි. ඉන්පසු කියනුයේ මේකත් ඔයගමන්ම එලියට ගෙනියන්න මල්ලි මම එළියෙන් එන්නම් ගන්න යනුවෙනි.. මේ සා උදව් කරන අයගෙන් කෙනෙක් යයි සිතා එම හතරැස් පෙට්ටිය තම භාණ්ඩ අතර නිශාන්ත සගවාගන්නේ ඒ වනවිට ඔහුත් විකිණීම සඳහා නියමිත ප්‍රමාණයටත් වැඩියෙන් බෝතල් මිලටගෙන තිබු හෙයිනි ...  

   නිසාන්ත ජයග්‍රාහී ලෙස අදාළ පරිශ්‍රය පසුකර එලියට එන ගමන් නැවත වරක් එම සගවා තිබු බෝතල් ටික ට්‍රොලියේ වෙනම අසුරන්න පටන් ගන්නේ තව නොබෝ වෙලාවකින් මතු වෙන අර නිලධාරියාට බෝතලය පහසුවෙන් නැවත ලබාදීම සඳහාය. නමුත් සිදුවන්නේ වෙනකකි. 

    පිටත සැකසහිත මගින් පරික්ෂා කරමින් හදිසි කඩා පැනීම් කරන තව කස්ටියක් එක්වරම නිසාන්තගේ ට්‍රොලිය ඉදිරියට පාත්වෙන්නේ පිළිවෙලට ඇති බෝතල් ඇසුරුම් වලට පෙරෙත බැල්ම දාන ගමන්ය...


නිළධාරින්:- මල්ලි දන්සලක් දෙන්නද ?? කෝ.. මේවයේ ක්ලියරින් ඩොකියුමන්ට්,

නිසාන්ත:- මේ තියෙන්නේ කොලේ සර්... මේ යාළුවො ටිකට ගත්තේ ටුවර් එකකට ඉන්දියා ගිහින් එනගමන්,

නිළධාරින්: ඔයාම දන්නවනේ මල්ලි එක්කෙනෙකුට එකපාරට මෙච්චර ගෙනියන්න බෑනේ ඔයා මේ කොලේ ලියලත් නෑනේ මෙච්චර තියෙන බව,

නිසාන්ත:- ලිව්වේ නැත්තේ මෙහෙ ඩියුටි ෆ්‍රී එකෙන් හදිස්සියේම ගත්තනිසා...... මොකක් හරි පොඩි ශේප් එකක් දාගන්න විදියක් නැද්ද සර්,

නිළධාරින්:- හරි හරි එහෙනම් ඔහොම්ම එලියට යනගමන් අන්න අතනදී මෙන්න මේක අපිට දෙන්නකෝ,

නිසාන්ත: අයියෝ සර් ඕක නැතුව වෙන ඕන එකක් ගන්න.... ඕක මේ.. මේ... විශේෂයෙන්ම වෙන යාලුවෙක්ට ගත්ත එකක්

නිළධාරින්:යාළුවට ඊළඟ සැරේ ගිහින් දෙන්න මේක අපිට දෙන්න ඔයා නිකන් කොරමේ දන්නේ නෑ  වගේනේ කතාව ඔය අනික් ඒවා ඕන තැනකින් ගන්න පුළුවන් මෙවානේ හැමතැනම නැති බඩු 

   මෙවැනි අවස්ථාවලදී පුරුදු කාරයෝ මෙයාලා ඉල්ලන දේ දීලා මේ කරදරෙන් බේරිලා ගියත් නිසාන්ත උත්සහ කරේ මේකෙනෙක්ම ට්‍රැවල් කරන්න දුන්න බෝතලය කොහොම හරි එයාටම ගිහින් දෙන්නයි... එත් එම උත්සහයම නිසාන්තගේ අවාසනාව ඉක්මන් කෙරෙව්වා ... මේ නිසාන්තගේ අසාමාන්‍ය උත්සාහය ගැන සැක සිතු එක් නිලධාරියෙක් බෝතලය  බහලු පෙට්ටිය විවුර්ථ කලේ පෙට්ටියේ යට පැත්තෙන්. 

  එක්වරම වික්ෂිප්ත වූ මේ නිලධාරියා ඇතුලේ වූ යමක් අනෙක් අයට පෙන්නනවාත් සමගම වහා ක්‍රියාත්මක වූ මොවුන් නිසාන්තගේ අතට මාංචු දමා රැගෙන ගියේ ප්‍රශ්න කිරීමේ කාමරයක් වෙතය. තාමත් අන්දුන්කුන්දුන් වි සිටින නිශාන්තගෙන් ප්‍රශ්න කෙරුනේ විස්කිබෝතල් අසුරණය ඇතුලේ සුක්ෂමව සගවනලද හෙරොයින් ග්රෑම් 200ක පමණ ප්‍රමාණය කොහෙන්ද ගෙනාවේ, කාටද ගෙනියන්නේ, කව්ද ජාවාරමට සම්බන්ද අනෙක් කට්ටිය යනාදියයි...

  අහස පොලොව නුහුලන මේ කතාන්දරවලට පිළිතුරු ලෙස, මේ බෝතලය තාමාට ලැබුණු ආකාරය නිසාන්ත පුන පුනා පැවසුවත්.. ඊට මාස ගණනකට පසු උසාවි නියෝගයක් මත නැවත තම නිතිඥ මහතුන්, පොලිසිය සමග අදාළ බෝතලය ලැබුන තැන හරියටම පෙන්වා දෙනු ලැබුවත් එම තැන කිසිදු ආරක්‍ෂිත කැමරාවකින් ආවරණය නොවන නිසා නිසාන්තගේ කතාව ඔප්පු කිරීමට කිසිවකුට නොහැකි විය.

 ඉතාමත් දරුණු වද බන්දන වලට භාජනය වෙමින් මාස කීපයක ප්‍රශ්නකිරීම් අවසානයේ ඒ වනවිටත් විසිදෙවන හැවිරිදි වියේ පසුවූ නිසාන්ත වසර හතකට දගගෙට නියම විය. 

   අල්ලපු වත්තෙන් කොටසකුත් තම පුතා තම වත්තට එකතුකරගන්නවා දැකීමට පෙරුම්පිරූ පියා, තම වත්තෙනුත් කොටසක් විකුණා දක්ෂ නිතිඥ මහතුන්යොදවා නඩු විභාගයේදී එකම පුතා බේරා ගැනීමට උත්සහ කලත් අවසන් තීන්දුවෙන් පසු දින කීපයකින් මෙලොව හැර ගියේ දරුණු ශෝකය දාරා ගැනීමට නොහැකිවය. 

 දැන් ගමේ හැමෝම කතාවෙන්නේ රෙදි ගෙන්න කියා කියා ඉන්දියාවේ ගිහින් කුඩු ගෙනා නිසාන්ත ගැනය...  ඔවුන් කියන දේවල් අදටත් රහස් පොලිසියටවත් සොයාගැනීමට නොහැකිය.. නමුත් ගමේ හැමෝම සහයෝගයෙන් සමගියෙන් එක හෙලා කියන්නේ නිසාන්ත මුලසිටම කලේ කුඩු බිස්නස් කියාය. (අන්න අපේ සිංහල කම) ඒ වන විටත් තම එකම මල්ලි ඉන්දියාවෙන් ගෙනා සාරි වලින් හැඩගැන්වී විවාපත් වී සිටි වැඩිමහලු සහෝදරියන් දෙදෙනා ගමේ අනික් කට්ටිය කියන කතා වලට අනුබල දෙමින් වාගේ මහගෙය මගහරින්නට විය.  තෙවන සහෝදරිය පමණක් තම දෙමව්පියන් මෙන් අදටත් නිසාන්තව විස්වාස කරයි.

 දඩුවම් කාලය නිමවා ගෙදර පැමිණියත් නිසාන්තට පාරක තොටක යා නොහැකි තත්වයක් ගමේ උදාවී තිබිණ... ගමේම දුප්පත් තරුනයෙකු සමග ඇතිකරගත් සම්බන්දතාවයකින් පසු උත්සවයක් නොමැතිවම විවාහවී, තම මවද රැක  බලාගෙන පොල්වත්තේ සුළු ආදායමෙන් ජීවත්වූ සොහොයුරියට තවදුරටත් බරක් නොවූ නිසාන්ත අදටත් මැලේසියාවේ නිවාස සංකීර්ණයක ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කරයි.

ලියා පොරසිද්දියට පත්කරන ලද්දේ මැර කකා විසිනි...

පලි: සුපුරුදු පරිදි කතාව ඇසුවායින් පසු රාල නිසාන්තගෙන් කිසිවක් අසන්නට ගියේ නැත... එත් නිසාන්ත මගෙන් ඉල්ලීමක් කරා ... "ඔයාට පුලුවන්නම් මේ කතාව පත්තරේට හරි ඉන්ටනෙට් එකේ හරි දාලා ප්‍රසිද්දියක් දෙන්න කව්රුහරි කෙනෙක් පාඩමක් ඉගෙන ගනී "
ඔහුගේ ඉල්ලීම මා මට හැකි අයුරින් සම්පුර්ණ කලෙමි....




Monday 7 July 2014

පට්ටපල්, අමුලික ඇත්ත කෙටි කතා මාලාවේ.... එක

හැදින්වීම .

   මේ මැලේසියාවේ රැකියාවට එන බොහෝ දෙනා දැන් කියන්නේ අපි ආවේ මේ වෙන දේවල් මෙලෝ දෙයක් දැනගෙන නෙවිනේ (ආ මෙයාලා බාබාලා) දන්නවනම් කීයටවත් එන්නේ නෑ (ඉතින් දැන් දන්නවනේ අපහු පලයල්ලකෝ)  කියලා තමයි. බලාගෙන ගියාම අම්මා පස්සෙන් ඇවිත් බැට් එකෙන් ගගහා එලවපු නිසා තමයි කට්ටිය මෙහෙ ඇවිත් දුක්විඳගෙන ජොබ් කරන්නේ....

   එත් ඉඳලා හිටලා රාළට හම්බවෙලා තියෙනවා තම කැමැත්තෙන්ම ඇවිත් ආපහු යන්නෙත් නැතිව ජොබ කරන කට්ටියව.... ඒ අයගෙන්  ගොඩක් දෙනක් ඇවිත් අපහු නොගිහින් මෙහෙ ඉන්නේ අලි අලි චෝයි වැඩ අර (අම්මට)සිරි ලංකාවේදී වෙලාතියෙන නිසා. අන්න ඒ චෝයි වැඩ වෙච්චා අයගේ කතා සිරිස් එකක් සරින් සැරේ මම ඔන්න කට්ටියත් එක්ක බෙදා ගන්න තමයි ලැහැස්ති වෙන්නේ අද පළමු පියවරට පළමු කතාව මේ මම වන මැරකාකා (මැලේ රාළ කතා කාරයා ) ලියයි 

එකේ එක . මේසන් සාන්ත .

   සාන්ත තාත්තා එක්ක මේසන් වැඩට අත් උදව් දෙන්න ගිහින් තියෙන්නේ ඉස්කෝලේ අට පාස් කරපු කාලේ ඉඳන්මයි.... කාලයත් සමග තම බාසුන්නැහෙගෙන් කිසිදු ගුරුමුෂ්ටියක් නැතුව මේසන් කරුමාන්තය ඉගෙන ගත්ත සාන්ත, හැමදාමත් අත් උදව් කරුවෙක් පමණක් වෙච්ච තම පියාටත් නොලද හැකි තරමේ වැටුපක් ලබා ගන්න සමත් උනේ යන්තම් අවූරුදු විස්සක් වෙනකොටම වගේමයි... 

   කලින් වැඩ කරපු තැන්වල අය සාන්තවම තම ඊළඟ වැඩේට ඉල්ලගෙන එනකොට ලොකුබාසුත් තම ගෝලයා ගැන හොඳ පැහැදීමෙන් තමයි හිටියේ. කාලය වේගයෙන් ගලා යන කොට අල්ලපු ගමේන් සාන්තිව හොයාගත් සාන්ත ලොකු මගුලක් කන්නේ නැතිව හඳපානෙම  සාන්තිව කැන්දාගෙන ආවා. 

    කාලයාගේ ඈවෑමෙන් දැන් සාන්ත තනිවම කොන්තරාත් ගන්න මේසන් බාසෙක්....  යන්න  එන්න අරගන්නවා තඩි තැපැල් නයින්ටි බයික් එකක් රිකොන්ඩිසන්ම...
     ලොකු දුවට අවූරුදු හතක්  වෙන කොට පොඩි දුවට අවූරුදු පහක්.... පරිස්සමින් ඉතිරි කරගත් මුදලින් තම ශිල්පය මොනවට විදහා පාමින් ඊළඟ අව්රුද්දක වාගේ කාලයක් ඇතුලත් මෙන්න සාන්ත හදනවා දකින එව්වන්ට ඉරිසියාවේ පැලෙන තත්වයේ තට්ටු එකාහාමාරක ගෙයක්.... 

  දැන් ඊළඟට සාන්ති බලන් ඉන්නවා ලොකුදුව ගහෙන් වැටෙනකම්....
ඒ ආරංචිය සාන්තට ආවේ ටිකක් විතර දුරක නගරයේ  අලුත් කොන්තරාත්තුවක් ගන්න කතා කර කර ඉන්න කොටමයි. කොන්තාරාත්තුවටත් හොඳ වට්ටමක් දිලා රුපියල් පනස්දාහක අත්තිකාරම් චෙක් එකත් රැගෙන සාන්ත කෙලින්ම ගියේ ඒ නගරයේ බැංකුවට...

    විනාඩි කීපයකදී චෙක් එක මුදල් බවට හරවා ගෙන ඊළඟට සාන්ත යනවා ඒ ලඟම තිබ්බ මුස්ලිම් රෙදි සාප්පු තුනම පහු කරගෙන සිංහල මුදලාලිගේ රෙදි සාප්පුවට... පව්ලේ සැමට උත්සවයකට අවශ්‍ය රෙදි මිලට ගෙන රුපියල් 17000ක බිල ගෙවන්නේ එවෙලාවේ බැංකුවෙන් හම්බ උන දාහේ කොළ  පනහෙන් 17ක් දීලයි....

  ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ.....

දාහෙකොල 17 අතට ගත්ත මුදලාලියා උඩම තිබ්බ කොළ හතර සාන්තට පෙන්නලා අහනවා මොන කන්තොරුවෙන්ද මේවා අච්චුගැහැව්වේ කියලා  ඒ කතාවෙන් අන්දුන්කුන්දුන් වෙන සාන්ත කියනවා ඕවා මම හදපුවා නෙවි මේ දැන් බැංකුවෙන් ගත්තුවා කියලා.... කතාව දුර දිග යනවා තමන් කිසිම වැරදි දෙයක් නොකළ බව දන්නා සාන්ත මුදලාලි එහෙනම් පොලිසියට කතා කරනවා කිව්වම හා කියනවා 

  මේන්න බොලේ ටිකකින් පොලිසිය ඇවිදින් සාන්තව පැක් කරගන්නවා.......... හේතුව හොර රුපියල් දාහේ කොළ හතරක් මාරු කරන්න තැත් කිරීම....

  සාන්ත දන්නා ශිල්ප ඔක්කොම දාලා කියනවා මේ ඔක්කොම සල්ලි ලැබුනේ බැංකුවෙන් කියලා සාන්තවත් රැගෙන බැංකුවට යන පොලිසිය බැංකුවෙන් මේ ගැන ප්‍රකාශයක් ගන්නවා.... බැංකුව කියන්නේ අපි පනස්දාහක් දුන්නා තමයි එත් හොර සල්ලි දුන්නේ නෑ.... ඔක්කොම රජයේ ඔරිජිනල් බඩු.... එත් කඩේට යන ටිකට කොළ හතරක් හොර වෙලා .... සාන්තම පිලිගන්නවා මුදලාලි සල්ලි ලාච්චුව ලඟට ගියෙත් නෑ.. තමන් ඉස්සරහම තමන්ම දීපු සල්ලි තමයි පරික්ෂා කෙරුවේ කියලා. කොම හරි දුවගේ උත්සවයක් ලැහැස්තිකරන්න ගිය පියා එදා නවතින්නේ රහස් පොලිසියේ හතරවන තට්ටුවේ 

  රහස් පොලෝසියේ රහස් කාමරයක සාන්තගේ රහස් අවයව රහස් මේසයක රහස් ලාච්චුවකට දාලා වහන ගමන් අහනවා 
  කොහෙන්ද බෝල මේ හාර දාහ 
බැංකුවෙන් හම්බ උනේ මහත්තයෝ 
ලාච්චුව තව තදට වහන ගමන් 
  බොරු කියන්න එපා යකෝ 
ඇයි දෙයියනේ බැංකුවෙන් හම්බ වෙච්ච එක බැංකුවෙන් නැතුව මාතලන් දුන්නයි කියන්නද ? නැත්නම් සිරා දුන්නයි කියන්නද 
  ඇත්තමයි බුදු මහත්තයෝ බැංකුවෙන්මයි දුන්නේ.....


    ඔන්න ඔහොමයි එදා දවස..... එත කොට පහුව දා පත්තරවල (දිනමිණ) යනවා කලක් තිස්සේ කරගෙන ගිය මහාපරිමාණ හොර සල්ලි අච්චුගහන කල්ලියක සාමාජිකයෙක් මුදල් නෝට්ටු තොගයක් සමග පොලිස් රැහැනට.....

    ඊටත් සතියකට පස්සේ ගමේ කතා  වෙනවා..... මු මේ හරියට ඉන්න තැනක්වත් නැතුව හිටිය එකා ගැනියෙකුත් ගෙනැල්ලා, බයිසිමොටෝවකුත් අරගෙන ළමයි දෙන්නෙකුත් හදලා අච්චර පුරාජේරු ගෙයක් හැදුවේ ඔය හොර සල්ලි වලින්ම තමයිනේ බෝල ..... අනේ අපිටනම් ගෙයක් තියා ගඩොල් කැටයක් වත් එපා හොර වැඩ වලින්නම් කියලා 

   තවත් මාසයක් විතර යනකොට සාන්තට නඩු වැටෙනවා..... දිගටම ඇතුලේ මොකද හැමදාම සාන්ත කියන්නේ තමන් නිවැරදිකරු සල්ලි ලැබුනේ බැංකුවෙන් කියලා 

    සාන්ත දිගටම රිමාන්ඩ්.. නඩුව දිගටම කල් යනවා බයිසිමොටෝවෙන් පටන් ගෙන අලුතෙන් හදපු ගේ දක්වා ඔක්කොම උකස් වෙනවා නඩුවට වියදම් කරන්න..

    තවත් අවූරුද්දකට විතර පස්සේ සාන්ත වැරදිකාරයා වෙලා අවුරුදු එකාමාරකට හිරේ යනවා..... හිරෙන් නිදහස් වෙච්ච සාන්තට ගමට මුණ දෙන්න බෑ හැමෝම මේ දක්ෂ මේසන් බාස් දිහා බලන්නේ ලොකු හොරෙක් වගේ..... උකස් කාරයටම ගේ විකුණුව සාන්ත පිටපලාතක සාන්තිවයි දරු දෙන්නවයි නවත්තලා මැලේසියාවට කැමැත්තේන්ම  එන්නේ ඔන්න ඔහොමයි.....

පලි: මේ කතාව රාළට කිව්ව සාන්තගෙන් රාල ඇහැව්වේ ප්‍රශ්න දෙකයි. 
ඔයාට හොඳටම සුවර්ද කොළ හතර දුන්නේ බැංකුවෙන් කියලා ?? මුදලාලි මාරුකරා වෙන්න බැරිද??
මට හොඳටම විශ්වාසයි මුදලාලි මාරු කරේනම් නෑ උඩම තිබ්බ කොළ හතර මම දීපු  ගමන්මයි මිනිහා වෙන් කරේ හොර සල්ලි කියලා....
හැබැයි මම අර මුස්ලිම් කඩේකට ගිහින් ඕක උනානම් තාමත් මම ලංකාවේ ඒ මිනිස්සු අපේ තත්ත්වය තේරුම් අරගෙන පොලිසි නොගිහින් ඕක ගොඩින් බේරලා දෙනවා.......  
සාන්ත හිරේ ඉඳන් ආවාට පස්සේ අයෙත් පුරුදු විදියට රස්සාව කරන්න බැලුවේ නැද්ද 
මොකද නැත්තේ....... අපේ ගම්වල එකෙක්වත් මට වැඩක් දුන්නේ නෑ අමාරුවෙන් පිට ගමක තාප්පයක් ගහන වැඩක් හොයා ගත්තා එකටවත් ගම පළාතේ එකෙක්වත් අත්උදව්වට ආවේ නෑ..... කොම හරි පිට මිනිස්සු වගයක් එක්ක දවස් දෙක තුනයි  වැඩේ කරගෙන යන්න උනේ අපේ ගමේ එවුන් එතන අයිති කාරයට හොයාගෙනම ඇවිත් කියලා පහුගිය දේවල් බොරුත් එකතුකරලා.... අර මනුස්සයා  ඒ වැඩෙත් නවත්තන්න කිවා....

අනේ අම්මේ කොමද දැනෙන සනීපෙ අපේ මේ සිංහල කම ගැන ???

මැරකාකා ලියයි .....................