මම S. L. මැලේ රාළ

මම ලංකාවේ පොරක් මැලේසියාවේ ජොබක් කරන.... මට මේක ලියන්න හිතුනේ අනික් බ්ලොග් කියවල ඒවා දැක්කම මෙහෙවෙන දේවල් අනික් කට්ටියටත් දැන කියාගන්න කියල තමයි .

අවූරුදු ගානක් තිස්සේ මෙහෙ ඉදන් අහපු දැකපු, සිද්ද උන හා දැනටත් සිද්දවෙමින් පවතින දේවල් තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕන්.....

Monday 2 December 2013

අපිත් යමුද මැලේසියා ? ජොබ් එකකටද?? නෑ නෑ ට්‍රිප් එකක්!!!

බුද්ධන් සරණේ සිරස දරාගෙන......

  ඔන්න අද මැලේරාළ මාගලක් වගේ ලිව්ව පච කතා නවත්තලා වැදගත් වැඩක් කරන්න කියලා තමයි යන්නේ

  ඔය උඩ කියලා තියෙන්නේ ඔන්න ඒකතමයි කතාව.. හැබැයි එකක් කියන්නම් මේක ඇවිල්ලා  සල්ලි බාගේ තියෙන දවල්ට කන්නත් පිටරට යන අයට නෙවි. ජීවිතේට පිටරටක ගිහින් නැති එත් යන්න ආසාවෙන් ඉන්න, යනවනම් කියක් විතර යයිද කියන ගැටළු වලින් ඉන්න කසන සල්ලිත් පොඩ්ඩක් විතර තියෙන අයට විතරයි ප්‍රොයෝජන..... කසන සල්ලි කිව්වේ රුපියල් 50,000ක් 60,000ක් විතරය. ඒ ගානට වැඩේ සිද්දවිම සදහා කාමරය හා ටැක්සි ගාස්තුව බෙදාගැනීමට අවම වශයෙන් මෙම ගමනට දෙදෙනෙක්වත් සහබාගි විය යුතුය. 

  රාළ මේක ලියන්න හේතු දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි ඔය උඩ තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ට්‍රිපක් යන්න කැමැත්තෙන් ඉන්න අයට. දෙවැනි එක තමයි මගේ පැත්තෙන් වැදගත් කාරණාව. ඒ තමයි දැනට ඔය සංචාරක විසා වලින් මැලේසියාවට රස්සාවලට ගේන ඒජන්ට්ලාට කෙනෙක්ව මෙහෙට පටවන්න ඇත්තටම කීයක්ද වියදම් වෙන්නේ කියලා පෙන්නන්න.

හරි දැන් අටුවා ටීකා ඇති එහෙනම් බහිමු වැඩේට.

වීසා සහ ගුවන් ටිකට්පත 

  පලවෙනි අවශ්‍යතාවය මැලේසියානු තානාපති කාර්යාලයෙන් සංචාරක විසාවක් ලබාගැනීමයි. වීසා ලබාගැනීමට ඔබ පළමුවෙන්ම ගුවන් ටිකට්පත මිලදීගෙන සිටිය යුතුය. ප්‍රශ්නයනම් ගුවන් ටිකට් පත මිලදීගත් පසු වීසා එක ප්‍රතික්ෂේප වුවහොත් ටිකට් එකේ සල්ලිවලට දෙයියන්ගේම පිහිටය. 

බය උනාද ??? වැඩේ පටන් ගත්ත තැනම ලොප් උනාය කියා....... බිය නොවන්න අයියණ්ඩිය මා සිටින්නේ ඒකටය!!!

 මේ උගුලෙන් ගැලවෙන්නටනම් ඔබට ගුවන් ටිකට් විකුණන ආයතනයක පිහිට පැතීමට සිදුවේ.  එම ආයතන මගින් ගුවන් ගමන ස්ථිර නොකරන ලද ටිකට් පතක්, ස්ථිර එකක් ලෙස සකසා තානාපති කාර්යාලයට ඉදිරිපත් කොට ඔබගේ වීසාව අයදුම් කරනු ඇත. එහිදී ඔබට අදාළ වීසාව ලැබුන පසු ගුවන්ටිකට් පත මුදල්ගෙවා ලබාගත හැක. ප්‍රතික්ෂේප උවහොත් ඔබට නැතිවන්නේ විසා අයදුම්පත්‍ර ගාස්තුව පමණි 

හරි දැන් අපි යමු ගාස්තු පැත්තට හා අවශ්‍ය ලියකියවිලි පැත්තට. ඔබගේ ගුවන්ගමන් බලපත්‍රයේ වෙනත් කිසිම රටකට විසා ලබාගෙන නැත්නම් එසේත් නැතිනම් මේ ඔබගේ පළමු විදේශ ගමනනම්, සමහරවිට පහත අවශ්‍යතාවයන් ඔබට සම්පුර්ණ කිරීමට සිදුවේ.

  1. ඉතිරි කිරීමේ ගිනුමක අවම වශයෙන් රුපියල් 75,000ක පමණ ශේෂයක් ඇතිබවට බැංකු කළමනාකාර තුමාගෙන් ලබාගත් සහතික කිරීමේ ලිපිය 
  2. වීසා අයදුම්පත ඉදිරිපත් කල පසු මැලේසියානු තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයට පෙනීසිටීම  
 මෙම සම්මුඛ පරීක්ෂණයෙදී ඉතාමත් සරලව ඔවුන් ඔබගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ කුමන අවශ්‍යතාවයක් සදහා මැලේසියාවට යනවාද යන්නත්, සංචාරකයකු වශයෙන් යන ඔබ නැවත ස්තිරවම ආපසු පැමිණෙනවාද යන්න ගැන විමසිලිමත් විමත්ය. 
 විසා අයදුම්පත්‍ර ගාස්තුව රුපියල් 500ක් වන අතර ඔබ එය ටිකටින් ඒජන්සියක් හරහා කරනවානම් ඔවුන්ගේ ගාස්තුව තවත් රුපියල් 500ක් වේ. එකතුව රුපියල් 1000කි 

ඉහත කාරනා සියල්ල සපිරි නම් දින තුනක් හෝ හතරක් ඇතුලත ඔබ මාස තුනක් ඇතුලත විදේශ ගතවිය හැකි සංචාරක මැලේසියානු වීසාවක හිමිකරුවෙකි. 

 මීලගට තියෙන්නේ ටිකට් පත මිලදි ගැනිමය. මාගේ බජට්ටුවට අනුව ට්‍රිප නිම කිරීම සදහා ඔබ මිලදීගත යුත්තේ එයාර් ඒෂියා ගුවන් සමාගමේ ටිකට් පතක්ය. අවම වශයෙන් සති හයකට වත් පෙර ඔබ විසින් මිලදී ගන්නවානම් එහිදී අවම මිලක් යටතේ ඔබට ගුවන් ටිකට් පත මිලදීගත හැක. අද දින මා විසින් ජනවාරි 10 දිනට පැමිණ දින හතරකට පසු නැවත පැමිණෙන ටිකට් පතේ මුදල රුපියල් 23,329/-කි 

හොදින්ම සිහි තබා ගත යුතු කරුණක් වන්නේ ඔබ අනිවාර්යයෙන්ම යාමට හා ඒමට වලංගු ටිකට් පතක් ගමන ඒමට පෙරම මිලදීගත යුතුය.  
මෙම අගයට කිලෝ 20ක බර සදහා අය කිරීමක් බොහෝ විට සිදු නොකරන අතර. යම් අවස්ථාවන්හිදී රුපියල් 1000ක් පමණ අය කරනු ලැබේ කෙසේ වෙතත් රුපියල් 25,000කින් ඔබට ගුවන් ටිකට් අවශ්‍යතාවය ගොඩදාගත හැකිය. 

එවිට දැන් මුළු වියදම රුපියල් 26,000කි 

  දැන් එහෙනම් ගුවන් ටිකට් පත හා සංචාරක වීසාව ලැහැස්තිය. දැන් තියෙන්නේ නැව් නගින එකය. පළමුව ඔබගේ බඩු  මල්ල හා ගුවන් ටිකට්පත ගුවන්තොටුපලේ අදාළ අංශය වෙත ඉදිරිපත් කොට සහතික කරගත් පසු ඔබ මුහුණ දිය යුතුවන්නේ ශ්‍රී ලංකික ආගමන හා විගමණ නිලධාරින් වෙතය සිංහලෙන් ප්‍රශ්න කෙරෙන නිසා ඔබට අපහසුවකින් තොරව ගුවන් ගත විය හැක. ඔබ මුහුණ දෙන බැරෑරුම්ම ස්ථානය වන්නේ මැලේසියානු ගුවන්තොටුපල ආගමන හා විගමණ අංශයයි.

මැලේසියානු ආගමන හා විගමණ අංශයට මුහුණදීම 

 මෙය ඉතාමත් කල්පනාකාරීව හා වගකීමෙන් යුතුව හැසිරිය යුතු තැනකි. බොහෝවිට ඔබ කතාකරන්නේ එක කවුන්ටරයක සිටින එක නිලධාරියකු සමග පමණක් වුවත් අවටින් ඔබ  වෙත එල්ල වූ කැමරා කීපයකින් ඔබගේ ඉරියව් නිරීක්ෂණය කරමින් සිටින බව ඔබ තදින් සිහිතබා ගත යුතුය. 

 මෙතනදීද ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වලදී ඔබ හැකි උපරිම අයුරින් ප්‍රියමානාපව පිළිතුරු දීමට වගබලා ගන්න. සමහර විට ඔවුන් ඔබෙන් අසන්නේ ඔල මොට්ටල ප්‍රශ්න බව ඔබට දැනෙනු ඇත. ඒ ඔබගේ ආතතිය වැඩිකර ඔබගේ සැබෑ ස්වරුපය දැන ගැනීම සදහාම ඔවුන් උවමනාවෙන්ම කරනා ප්‍රයෝගයකි... එම නිසා ඔබ ඉවසිලිමත් වන තරමට ඔබට වාසි සහගතය.

තවද මෙතැනදී පහත සදහන් අමතර ලියකියවිලි ටික හෝ  එයින් කීපයක් ඇත්නම් ඔබට මේ අවස්ථාවට මුහුණ දීම වඩාත් පහසුවනවා ඇත. 

  1. මැලේසියාවේ දැනට සිටින කෙනෙකුගෙන් හෝ ආයතනයකින් ඔබ වෙත ලැබුණු ආරාධනා පතක් 
  2. මැලේසියාවේදී ඔබ සහබාගිවන හෝ නැරබීමට බලාපොරොත්තුවන ස්ථානයක ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර යනාදිය. (online ලබාගත හැක විස්තර ඉදිරියේදී)
  3. ඔබ ලංකාවේ යෙදී සිටින ස්ථිර රැකියාවක හෝ ශිෂශයෙක් නම් එම ආයතනයෙන් නිකුත් කර ඇති හැදුනුම් පත යනාදිය.
  4. මැලේසියාවේදී ඔබ නවාතැන් ගැනීමට බලාපොරොත්තුවන හෝටලයක, කාමරය ඔබේ නමට වෙන්කරවා ගැනීමේ කුවිතාන්සියක්.(online ලබාගත හැක විස්තර ඉදිරියේදී)
  5. ඔබ මෙරට තුලදී වියදම් කිරීමට රැගෙන ආ මුදල් (මෙයට සාමාන්‍යයෙන් කියන්නේ show money කියාය) ආසන්න වශයෙන් USD 500ක් පමණ. (මෙයින් මැලේසියාව තුලදී ඔබට වියදම් වන්නේ මාගේ ගණනය කිරීම් අනුව usd 250ක් පමණි ඉතිරිය ණයට ඉල්ලාගත් තැනැත්තාට ආපසු ගියවිට ගෙවිය හැක.)
ඔවුන් අසන ප්‍රශ්න වලට  ඔබගේ වාචික ප්‍රකාශ වලින් සැහීමකට පත් නොවන්නේනම්, ඉහත ලියකියවිලි ඔබට ඉතා වැදගත් වනු ඇත.

මෙහිදී ඔවුන් සාමාන්‍යයෙන් අසන ප්‍රශ්න දැනට මා සදහන් නොකරන අතර ඒවායින් බොහෝවිට ඔවුන් විමසන්නේ ඉහත ලිපිවල අවශ්‍යතාවයන්ය. 

  ඔබ මේ කඩ ඉමට සාර්ථකව මුහුණ දුන්නා යනු  ඔබ දැන් මාසයක් මැලේසියාවේ රැදී සිටීමට වරම් ලැබුවෙකි.  

දැන් ඔබට ඇත්තේ සුන්දර මැලේසියාවේ නිවාඩුව මැලේ රාළගේ උපදෙස් අනුව ගතකරමින් උපරිම මිහිර ලබාගැනුමය 

     තවම ඔබට මුදලින් වියදම් වී ඇත්තේ රුපියල් 26,000ක් පමණි. ක්වාලාලම්පුර් අන්තර්ජාතික උපගුවන් තොටුපළෙන් (LCCT )පිටතට පැමිණෙන ඔබ මුලින්ම කල යුත්තේ ඔබගේ මුදල් මැලේසියානු  රිංගිට් බවට පත්කර ගැනීමය. ඔබගේ මේ දින 4ක චාරිකාවට මා නිර්දේශ කරන්නේ USD 250ක් හෙවත් LKR 32,000 මැලේසියානු රිංගිට් 750ක් බවට පත්කර ගන්නා ලෙසය. 

  දැන් ඔබ අතේ මැලේසියානු රිංගිට් 750ක් ඇත. නාදුනන රටක දොරටුව ලග සිටින ඔබට මා දෙන පළමු අවවාදය ඔබගේ මුදල් හා වටිනා කියනා දෑ ඉතා වගකීමෙන් පරිස්සම් කර ගන්නා ලෙසය. මන්ද මැලේසියාවද ගැට කපන්නන්ගෙන් හා මංකොල්ලකාරයන්ගෙන් ගහන වූ රටක්ය. ඔවුන් ඔබගේ ගැටය කපන්නේ හෝ මංකොල්ල කන්නේ ඔබගේම නොසැලකිල්ල නිසාම පමණක් බවද හොදින් සිහි තබා ගත යුතුය. අනෙක් කාරනාව ඔබගේ ගුවන්බලපත්‍රය සැම විටම ඉතා ආරක්ෂාකාරීව ඔබ යනෙන සෑම තැනම ඔබ ලඟ තබාගත යුතුය. 

පළමුව ඔබ ගුවන් තොටුපලේ සිට KL (=kuala lumpur ) නගරයට පැමිණීමට බස්රථ නැවතුමට යායුතුය. එතැනදී රිංගිට් 8ක මුදලට ටිකට්පතක් (පින්තුරයේ පෙනෙන වර්ණ සහිත බස් රථම තෝරාගන්න)  ගෙන KL සෙන්ටර් වෙත පැමිණිය හැක.

 නවාතැන් ගැනීම සදහා මා විසින් ඔබට යෝජනා කරන්නේ KL සෙන්ට්‍රල් අසලම පිහිටි  මයි හොටෙල්  නම් හෝටලයයි. මන්ද ඉදිරි දින කීපයේදී ඔබ සංචාරය කරන සෑම තැනකටම යාමට ගමනාරම්භක ස්ථානය ලෙස  KL සෙන්ට්‍රල්  යොදාගන්න බැවිනි. එම ලින්කුවෙන් එහි වෙබ් පිටුවට පිවිස ඔබට online කාමර වෙන්කරවා ගැනීමෙන් ඉහත අංක 4 අවශ්‍යතාවය ඉටුවනවා ඇත. මෙහිදී ඔබ එක දිනක් හෝ දෙදිනකට පමණක් කාමරය වෙන්කර ගැනීම ආගමන විගමන අවශ්‍යතාවය සදහා සැහෙනු ඇත එවිට ඉදිරි දින දෙක කොහෙද ඉන්නේ ??? (පාරේද ?? ඒවා ඉස්සරහට) 

ඒවාගේම ඔබට මෙම මුදල තව අඩුකර ගැනීමට ලොජ් වර්ගයේ නවාතැන් පොළවල් එක දිනකට දෙදෙනෙකුට නැවතීම සදහා මෙම අවටින් rm 60ක් වැනි මුදලකටද (එවිට එක අයෙකුට 30යි) සොයා ගත හැක. තවද Rm 70ත් 110ත් අතර විවිධ තරාතිරමේ හෝටල් රාශියක් මේ අවටම ඇත. 

   මෙහි කාමර මිල දෙදෙනෙකු සදහා දිනකට RM 120ක් වන අතර එවිට එක් අයෙකුට වන්නේ RM 60ක් පමණි එනම් දින හතරටම RM 240කි.

 ඊළගට කෑම බිම සදහා මා අනුමත කරනුයේ එක වේලකට රිංගිට් 10කි. සාමාන්‍යයෙන් KL සෙන්ට්‍රල් අවට ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක කෑම කඩ පිහිටා ඇත. (ඉන්දියන්, මැලේ, චීන, හා බටහිර) උදේ ආහාරය ඉන්දියන් කඩයකින් රොටි, තෝස, ආදිය මගින් පිරිමහ ගත් විට ඔබට වැය වන්නේ  රිංගිට් 5ක් පමණ මුදලකි. එවිට ඉතිරි  5න් රෑට ඔබට බටහිර කෑම වේලක හෝ දවාලට බුරියානි එකක් රස විදිය හැක (රිංගිට් 10ත් 15ත් අතර මේ කෑම ලබා ගත හැක) සාමාන්‍යයෙන් බත් සමග මස් හා ව්‍යංජන කීපයක  කෑම වේලක් රිංගිට් 7ත් 10ත් අතර (බිමට වතුරත් සමග) ඔබට ලබාගත හැක.
 ඒවාගේම උදෑසන අහාරයට මැලේසියන් කෑමක් වන නාසිලිමාවක රස බැලීමටද අමතක නොකරන්න. මෙයත් RM 4කට පමණ ලබා ගත හැක. 
     
    ඔබ ගත කරන මුළු කාලය සදහාම ඔබට ඇත්තේ කෑම වේල් 12ක් පමණි. ඒ අනුව ඔබට වැය වනුයේ කෑම සදහා RM 120කි. දැන් කෑම සහ නවාතැන් හරිය. මුළු වියදම RM  368කි ඉතිරිය 382කි. දැන් පළමු රැය මැලේසියාවේදී ඔබට සුව පහසුවෙන් ගත කල හැකිය. ඉතිරිය වියදම් කරමින් ඊලග දින තුන ගතකරන විදිය හෙට උදේ නැගිට්ටට පස්සේ තමයි ... 
   
  ඒ කියන්නේ ඊලග පොස්ට් එකෙන්...... හැබැයි ඉතින් කවදා එළිවෙයිද  දන්නේ  නෑ ......  

  එතකල් ඉවසලා ඉන්න ගමන් නොපැහැදිලි ඕනෑම තැනක ඕනෑම පුරස්නයක් අහන්න අවසර ඇත. 

පලි: ඇත්තටම කාට හරි එන්න ඕනෑනම් ඔය නිල් පාටින් තියෙන කරුණු වෙනමමත්, රතු පාටින් තියෙන ටික වෙනමමත් copy & past කර ගත්තානම් නිල් පාටින් අවධානය යොමුකළයුතු කාරණාත් රතු පාටින් මුල්‍ය තත්වයත් ඒ ඒ අවස්ථාවන්ට අනුකුලව ප්‍රරයෝජනයට ගත හැක. 
  
පපලි : පොස්ටුව ලියුවත් යම් අඩුපාඩුවක් ඇතිබව දැනෙයි...  එත් ඔපීසියේ අධික වැඩ ගොඩක් සමග ගත කරන කාලයක් බැවින් අඩුපාඩුව සිහියට නොනැගෙයි.  එමනිසා ඔබට ඇතිවන ඕනෑම පුරස්නයක් ආසාදෑන ගන්නා මෙන් කාරුණිකව නැවතත් සදහන් කරමි.