IT කියන්නේ මාර විෂයක්ය. ඕකට සිංහලෙන් කියන්නේ ඉන්ෆොමේෂන් ටෙක්නොලජි කියාය එහෙමත් නැත්නම් කෙටියෙන් කියනවානම් තොරතුරු තාක්ෂණයයි... මෑත භාගයේ මිල මුදල් වැඩියෙන්ම හම්බකරන, වැඩිදෙනෙක් යොමුවෙන, රැකියා අවස්ථා එමට තියෙන, ෆීල්ඩ් එක මේ IT සයිඩ් එකයි...
දැන් දැන් ලංකාවේ යන්තම් සා.පේ ට මුණ දෙන කොල්ලොත් (කෙල්ලොත් හොල්සෙල්) උ.පේ ට යන්නත් කලින් දගලන්නේ ඔය IT කරුමාන්තයෙන් ඉහලට යන්නය... ඉතින් මෙවුන් අර රිසාල්ට් එනකම් ගෙදර ඉන්නකම් ජාවා ඉගෙන ගන්න පටන් ගනී.... ඊට පස්සේ ඔරකල්ය.... අපිනම් මුලින්ම ඔරකල් ගැන දැනගත්තේ පොඩිකාලේ ශ්‍රී ලංකා රුපවාහිනියෙන් ඕස්ට්‍රේලියන් නළුනිලියෝ දාලා කරපු මායා
බන්දන ටෙලිය බලන කාලයේය... එකේ හිටපු අශ්කා අක්කා මේ ඔරකල් අරගෙන අර අහිංසක පෝල්ටයි එයාගේ නංගිටයි, යාලුවාටයි ඒ යාලුවාගේ එළ කැල්ලටයි පුදුම වදයක් දෙනවාය.... කොහොම හරි දැන් මේ IT කාරයොත් ඔය ඔරකල් අල්ලාගෙන මාර මාර ගේම් දෙනවාය..
ඉතින් මෙයාලා ඔරකල් අල්ලාගෙන මොන ගේම ගැහැව්වත් මටනම් කමක් නැත. නමුත් අර ආශ්කා වගේ අනෙක් අයට වද දෙන්න ගත්තමනම් මේ රාල වගේ අනික් උන්ගේ උණට කහින පොරවල් වලට තදට මල පනිනවාය.
............................................................................................................
ඇත්තෙන්ම මොකද්ද මේ රාළයා අද කියන්න තටමන්නේ ????
මෙන්න මේකයි කතන්දරේ පහුගිය පොස්ට් දෙකම මැර කාකා ලිව්ව ඇත්තපච කතාවල මීළඟ ඇත්ත පච කතාව මැර කාකා ලියන්න කලින් රාළට හිතුනා පොඩි පුර්විකාවක් වගේ එකක් ලියන්න. අන්න එක තමයි මේ...
............................................................................................................
ඇත්තෙන්ම මේ IT කරුවන් බොහොමයක් ඉතා අඩු වයස්වල අයය. ඒ වාගේම බොහෝවිට මොවුන් සා.පෙල ට හෝ උ.පෙල ට පසු අවුරුදු තුනක් හතරක් හෝ පහක් වැනි කාලයක් ඉතා තදින් තම විෂය ක්ෂ්ත්රය හදාරන පිරිසකි (එහෙම නොකරන්නන් ඔය කාලය තුල හැලියති) ඉන්පසුව වැඩ පෙන්නන්න පුළුවන් ආයතනයක තවත් අවූරුදු දෙක තුනක් ඇතුලත තම වෘත්තිය හැකියාව ඔප්නංවා, වැඩිදුර අධ්‍යාපනයට හෝ වඩාත් හොඳ රැකියා අවස්ථා සඳහා මැලේසියාව වැනි රටවලට බොහෝ පහසුවෙන් සංක්‍රමණය වෙති.
මීළඟට මොවුන්ගේ සමකාලීනයන් වන්නේද එවැනිම පසුබිමක සිටින ඉන්දියානුවන් හෝ බංග්ලාදේශ් ජාතිකයන්ය. වයස විසි ගණන් වල අග සිටින මොවුන් බොහෝවිට කාසද බඳින්න බලාපොරොත්තුවෙන් හෝ බැඳපු ගමන් අය වෙති.
ප්රශ්නය ආරම්භ වනුයේ ඔතනින්ය. මේ තනිකඩයන්ට (හෝ නව විවාහකයින්ට) මීළඟට අවශ්‍ය වනුයේ නිවසට ගෘහ සේවිකාවකි. මීට අවුරුදු දෙක තුනකට පෙර කාලයේදී මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ පිලිපීන හා ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ය. අපරාදේ කියන්න බැරි ඔවුන්ගේ සේවයනම් පට්ට පට පටය... උදේම තම ස්වාමියන්ගේ ආහාර පිළියෙළ කොට ඔවුන් වැඩට යවා අනෙකුත් ගේදොර අස්පස් කිරීම්, රෙදි සේදීම් ඇතුළු සියලු දේ නිමවා පසුව රෑවෙලා පැමිණෙන ස්වාමියාට අවශ්‍ය(නම්) අනෙක් පහසුකම්ද සලස්වා දෙයි.

නමුත් අම්මටසිරි ලංකාවටම දෙවැනි නොවන මේ මැලේසියාවේද ඕවා වැඩිමනත් සිදුවන්නේ නිත්‍යානුකුල නොවන ආකාරයටය. ඒ අනුව විසිට් විසා මගින් ගෘහ සේවිකාවන් හොල්සෙල් එකේ මෙරටට පැමිණේ. එසේ පැමිණෙන අයට බොහෝවිට සේවය කිරීමට ලැබෙනුයේ අර මා මුලින් විස්තර කල වෘර්තිකයන්ගේ නිවෙස් වලය.
දැන් දැන් ඇතිවී ඇති තත්වය වන්නේ මේ ගෘහ සේවිකාවන් සැපයීම අර ශ්‍රී ලාංකිකයින් තම අතට ගෙන ඇති බවක්ය. එනම් ඔවුන් තමන්ගේ හා තම ඉන්දියානු මිතුරන් සඳහා ලංකාවෙන් කාන්තාවන්ව මෙහෙට ගෙන්වා ගනිමින් සිටි. ඒ සඳහා ඔවුන් තමන්ගේ බොහොම දුරඈත පලාත්වල මිතුරන් හා නෑදෑයන් මාර්ගයෙන් එම කාන්තාවන් මෙහෙට ගෙන්වා ගනුයේ කිසිදු මුදලක් අය නොකරය..
නමුත් ඔවුන් මෙහෙ ආපසු අවම වශයෙන් උදයේ 4 වන විටවත් අවදි විය යුතුය, ඉන්පසු කෑම පිසීම ආදිය සිදුකොට උදේම ස්වාමියා වැඩට පිටත් කොට නිවස, නාන කාමර ඇතුළුව පිරිසිදු කිරීමත් රෙදි සේදීම, අයන් කිරීම ,රෙදි අස්කිරීමත් නැවත රාත්‍රී ආහාර පිසීම, ඒවා පිළිගැන්වීම ඉන්පසු අස්කිරීම යනාදිය සියල්ල නිම වීමට රෑ 10 පමණවත් වේ. බොහෝවිට තනිකඩයන් සිටින නිවෙස් වල වෙනත් අවශ්‍යතා පිරිමැසිමටද සිදුවේ. නමුත් සතියේ දින හතේම සිදුවන මේ සියල්ල අවසානයේ ඔවුන්ට වැටුප හැටියට ලැබෙන්නේ අර ගෙන්වන්න මුලික වුවන්ගේ උපදෙස් මත රුපියල් 25000ක් 30000ක් අතර ප්‍රමාණයක් පමණි. ඒ කියන්නේ අපේ අයියලා තම බොසාගේ නැත්නම් මිතුරාගේ හොඳහිත වෙනුවෙන් තවත් අපේම සොයුරියක් වහල් සේවයේ යොදවයි.
ඇත්තෙන්ම මා මේ ලිපියෙන් ගෘහසේවිකාවන්ට සිදුවන ගැහැට ගැන කතා කරන්නට නොයන්නෙමි. එත් ඇත්ත තත්ත්වය හා නියම වටිනා කම ඔබට ඒ අය වෙනුවෙන් ලබාදිය නොහැකිනම් මේ අවාසනාවන්ත තත්ත්වයන්ට තම සොහොයුරියන්, මිතුරියක් වැනි අපේ සිංහල කාන්තාවන් පත්වීමට ඇති ඉඩකඩ අහුරන මෙන් බොහොමත්ම හිතෙශිව ඉල්ලා සිටිමි.
පසුගිය කාලයේ සිදුවූ සිද්දීන් කිහිපයක අත්දැකීම් මත (හා මැලේ රාලට ඔය IT ඉංජිනේරුවෝ ගැන තියෙන පෞද්ගලික ඉරිසියාව නිසා) මේ සංසිද්දීන් වලට මා විසින් IT ඉන්ජිනේරුවන්ව ලඝුකොට ලිපිය ලියුවත්, බොහෝ වෘතිය මට්ටමේ වීසා (Professional Workers) මත මෙහි රැදී සිටිමින් රැකියා කරන්නන් බොහොමයක් ඔවුන්ට ඇති ගෘහසේවිකාවක් තියා ගත හැකි අයිතිවාසිකම මෙලෙස අයුතු ආකාරයට යොදාගන්නා බව ඉතා කනගාටුවෙන් වුවද පැවසිය යුතුය..
එසේනම් මේ පුර්විකාවෙන් පසු මීළඟට මැරකාකා ලියන තුන්වන ඇත්ත පච කතාවෙන් හම්බ වෙමු (IT කාරයෙක්ගෙන් ගුටිකා මළේ නැත්නම්)