ඔන්න රාළයත් වෙනස්ම මාර්තුකාවක කතාවක් ලියන්න හිතුනා....
හැබැයි මේකත් මැලේසියන් කාතාවක්ම තමයි.... එත් මේකේ බලපෑම මුළු ලෝකේ ඉන්න හැමෝටම දැනෙන දෙයක් ... හරි..... පොඩි අටුවාටිකාවකින්ම පටන් ගමුකො.
මිට අවුරුදු 100කට විතර කලින් මේ මැලේසියාව ලංකාවෙන් තුනෙන් එකක් තරම්වත් දියුණු ජාතියක් නෙවි මේ රට අද මේ තියෙන තත්ත්වයට දියුණු කිරීමට සියයට අසුවක දායකත්වයක් සැපයුවේ මෙහි සිටින චීන ජාතිකයන්.
මේ චීන්නුත් ඇවිල්ල මහා අමුතුම ජාතියක්. ඒ කියන්නේ අර අපේ මහා මී මුත්තා වන විජය කුමාරයා ඉන්දියාවෙන් පිටුවහල් කරලා මෙහෙ ඇවිත් රජ උනා වගේ චීන රටේ අතක් පාතක් නැති අය තමයි ගොඩක්ම ඒ කාලේ මැලේසියාවට ඇවිත් තියෙන්නේ. හැබැයි ආවට පස්සේ ඒ ආපු ගොඩක් චීන්නු මෙහෙ ඔටුනු නැති රජවරු උනා.
එහෙම උනේ උපතින්ම කම්මැලි ජාතියක් වන මේ මැලේසියානුවන් වගේ කීපගුණයක් වැඩියෙන් හිතලා කඩිසරව වැඩ කරපු නිසා තමයි කියලයි මැලේ රාළට හිතෙන්නේ
රාළට එහෙම හිතෙන්න හොඳම උදාහරණය සැපයුවේ රාලත් එක්ක අවූරුදු ගානක් එකට වැඩ කරපු මැලේසියන් චීන ජාතික හරෙස් උන්නැහේ. මේ හැරෙස්ගේ සියා දැනට අවුරුදු 80කට විතර කලින් මෙහෙට ඇවිත් තියෙන්නේ එයාට වයස 20දී .. ඇවිත් ගොවිපොලක තමයි මුල්ම රැකියාව කරලා තියෙන්නේ මේ ගොවිපොළේ එක පැත්තක සම්පුර්ණයෙන්ම වවලා තියෙන්නේ මිරිස්.
මේ සියා කොලුවා කාලයක් මෙතන වැඩ කරනකොට පෙනුනලු අඩුවෙන් පලදාව දෙන අම්ම්බානකට සැර කොළ පාට පොඩි මිර්ස් ගස් ටිකෙන් එන ආදායම වැඩි බවත් පලදාව වැඩි ප්‍රමාණයෙන් ලොකු එත් සැරත් නැති ලොකු මිරිස්වලින් අදායාම අඩු බවත්. එත් සියා කොල්ලා කැමති මේ ලොකු මිරිස් වලට මොකද චීන්නු සැර කන්නේ හරිම අඩුවෙන් නිසා.
කොහොම හරි එක දවසක් හදිස්සියේම පහල වෙච්ච නුවනක් නිසා මේ සියා කොල්ලා, මේ මිරිස් ජාති දෙක බට් කරලා වෙනම මිරිස් පැලයක් හදලා තියෙනවා එකේ සැරත් ගානට ප්‍රමානෙත් ගානට හොඳම දේ පලදාවත් ලෙසටම තිබිලා තියෙනවා. කාලයත් එක්ක අනික් මිරිස් ජාති වෙළඳ පොලෙන් ඉල්ලුම අඩුවෙලා යද්දී මේ බට් අලුත් මිරිසට පුදුමාකාර ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. එතනිනුත් අවුරුදු 10ක් විතර යද්දී කියන්නේ එක්දහස් නවසිය හැටේ දසකය වගේ වෙනකොට මැලේසියාව කෘෂිකර්මය අතින් ලොව අංක එකට එන තත්වයේ මුලික ආඩිතාලම හදාගෙන තිබෙනවා, ඔවුන් සතු මේ මහා දෙමුහුන් කිරීමේ කලාව ප්‍රගුණ කිරීම තුලින්
දසක කිහිපයක් ලොවට වහන් කරගෙන මෙයාල කරපු පර්යේෂණ නිසා අද ලෝකයේ ඉහලම රසයෙන් හා අලවි තත්වයකින් යුතු පලතුරු හා එළවලු සපයන ප්‍රධාන රටක් වන්නේ මැලේසියාවයි
මර්ඩි MARDI කියන කෙටි නමින් හදුන්වන ඔන්න ඔය ලින්ක් එකේ තියෙන රාජ්‍ය ආයතනය තමයි මේ සදහා මුලික වෙලා වැඩ කටයුතු කරන්නේ
හරි දැන් බ්ලොග් වහරෙන්ම කියනවනම් පඳුර තැලුවා ඇති දැන් තමයි කතාව කියන්න යන්නේ
අර අපේ හරෙස් ලාට තාමත් ලොකු එළවලු ගොවිපොළක් තියෙනවා මැලේ රාළත් දවසක් ඔතනට ගියා කියන්නකෝ... අසාවෙ බෑ අලුත් එළවලු විශේෂයෙන්ම පාට 3නක හා විවිධ හැඩයෙන් යුතු මිරිස් ජාති දැකලා මටත් හරි ආසයි . සුපුරුදු ලංකාවේ ගතිය විදහා පාමින් මමත් ගෙදර ගෙන්න මගේ අතින්ම හැම පාටින්ම මිරිස් ටිකක් කඩා ගත්තා... එත් එන්න හදන කොට ඒක දාගන්න බැග් එකක් හොයන වෙලාවේ මේ මිනිස්සු මම කඩපු ටික අරගෙන ඒ වගේ කලින් කඩලා ඇතුලේ තිබ්බ වෙන ඒවා ටිකක් දුන්නනේ....
රාළගේ හිතත් ටිකක් සවුත්තු උනා එත් එහෙම කරේ ඇයි කියලා පහුවෙනිදා හරෙස් ගෙන් ඇහුවම දුන්න උත්තරේට සාමන කතාවක් පහුගිය බදාදා (2014-03-05) විදුසර පත්තරේ දාලා තියෙනවා මතුගම සෙනෙවි රුවන් කියලා මහත්මයෙක්.
ලින්ක් එක දැන්මාට ඒ පිටුවම ඇරෙන්නේ නැති නිසා ඔන්න අකුරක් නැරම ඒ ලිපිය මෙතන කොපි පේස්ට් කරා කාගේවත් අවසරයක් නැතුවම. මේ පහල තියෙන්නේ ඔන්න එක
"මැලේසියන්" එළවළු පලතුරු
පරිභෝජනයේ අවදානම
ලංකාවේ එළවළු වෙළෙඳපොළ ක්‍රමයෙන් පුළුල් වන්නකි. වගා කොට ආහාර ගැනීමට වඩා වෙළෙඳපොළේ තිබෙන ආහාර ලබාගැනීම විශාල වශයෙන් දැන් ව්‍යාප්ත ව තිබීම මීට හේතුවයි. මේ නිසා ජනතාව ගේ ආහාර පුරුදු පවා මහත් වෙනසකට භාජන වී තිබේ යෑයි කිව හොත් නිවැරැදි ය.
මේ එළවළු වෙළෙඳපොළේ අද පිරී පවතින්නේ පළමුවැනි පරම්පරාවේ දෙමුහුන් බීජවලින් වගා කරන ලද එළවළු හා පලතුරු නොහොත් ජන ව්‍යවහාරය අනුව මැලේසියන් ආහාර යෑයි කිව හොත් එය බොරුවක් නො වේ. මේ වර්ගයන්හි බීජ මැලේසියාවෙන් පමණක් නො ව ඇමෙරිකාවෙන්, ඉන්දියාවෙන් හා වියට්නාමයෙන් පවා ලංකාවට ගෙන්වීමට කටයුතු කර ඇත.
පළමුවැනි පරම්පරාවේ බීජ යන ව්‍යවහාරය පිළිබඳව සමාජය තුළ එතරම් දැනුවත් බවක් ඇතැයි සිතිය නොහැකි ය. ඒවා ම`ගින් වැඩි අස්වැන්නක් ජනිත කරවා දෙන බව පමණක් ප්‍රචලිත ව පවතී. බීජ අභිජනන ක්‍රියාවලිය ආරම්භ වී දැන් අඩ සියවසක් පමණ කාලයක් ගත ව ඇත. වර්තමාන අභිජනන ක්‍රියාවලිය ප්රවේණි විද්‍යාත්මක සිද්ධාන්තයන් මත වඩාත් දියුණු තත්ත්වයකට පත් ව තිබේ. වර්ග දෙකක් අතර පරාගණ ක්‍රියාවලිය සිදු කිරීම ම`ගින් නව ශාක ප්‍රභේදයක් බිහි කිරීම පළමුවැනි පරම්පරාවේ දෙමුහුන් කිරීමක් නො වේ. උදාහරණයක් ගත හොත් පැරැණි වැඩි දියුණු කළ වී වර්ගයක් වන එච් 4 සකස් කර තිබෙන්නේ ඉන්දුනීසියන් මාස් සහ මුරුන්ගාකායන් යන වී වර්ග දෙක පරාගණයට ලක් කිරීමෙනි. එ_හෙත් ඒ නව ප්‍රභේදය ගොවීන්ට නිකුත් කිරීමට වසර හතක් පමණ කල් ගත කර ඇත. එම කාලය ගත කර තිබෙන්නේ ඒ නව ප්‍රභේදය ස්ථාවර වන තුරු ය. මේවා පළමුවැනි පරම්පරාවේ බීජ නො වේ. එහෙත් පළමු අභිජනනයෙන් පසුව වෙළෙඳපොළට නිකුත් කරන බීජ ගැනෙන්නේ මේ පළමු පරම්පරාවේ බීජ ගණයට ය. වර්තමාන වෙළෙඳපොළේa තිබෙන වැටකොළු, වට්ටක්කා, ගස්ලබු වර්ග සියල්ල ඒ කාණ්ඩයට ඇතුළත් ය. බතලගොඩ පර්යේෂණායතනය තුළ BGHR යනුවෙන් පළමුවැනි පරම්පරාවේ වී වර්ගයක් සකස් කර ඇත ද මේ වන තුරු ඒවා නිදහස් කර නොමැත.
නව දෙමුහන්කරණයේ දී එකිනෙකට වෙනස් අදියර හතක් පමණ ක්‍රියාත්මක ය. එයින් පළමුවැන්න නම් පළමු පරම්පරවේ බීජ නිර්මාණය කිරීමයි. පළමු පරම්පරා දෙකක් එකට මුහු කිරීම දෙවැන්නයි. පළමු පරම්පරාව හා වෙනත් වැඩිදියුණු කළ වර්ගයක් මුහු කිරීම තෙවැන්නයි. අවසානයේ කී දෙමුහුම සහ තවත් එවැනි ම දෙමුහුමක් එක් කිරීම සිවු වැන්නයි. මේ ආකාරයට නවීන විද්‍යාඥයන් අස්වැන්න වැඩි කරනු වස් දෙමුහුන් දිරිය භාවිත කරමින් ඇත. එසේ ම එයින් එපිටට ගොස් ජාන විකරණයෙන් ද ශාක ප්‍රභේද ඇති කරන්නට පටන්ගෙන ඇත. විවෘත ව පරම්පරා ගණනාවක් තිස්සේ පරපරාගණයට ලක් ව ස්වාභාවික පරිසරයේ තිබූ ජානයන් මේ තාක්ෂණය භාවිත කර දැන් පළමු පරම්පරාවට ගෙන ඇත. උදාහරණයක් ගත හොත් ව්ට්ටක්කා ප්‍රභේදය ගනිමු. එහි මුල් ස්වභාවයන් කීපයකි. බෙර හැඩය හා රවුම් විශාල හැඩය ජන ව්‍යවහාරය අනුව මොරගොල්ලාගම වට්ටක්කා හා වැලිමඩ වට්ටක්කා යනුවෙන් හැඳින්වේ. තවත් එහි වල් දර්ශකයන් ද හමු වේ. දැන් ඒ දෙක ම පසෙකට කර වැඩි පලදාවක් දෙන කුඩා රවුම් හැඩයේ වට්ටක්කා ගෙඩියක් නිපදවා ඇත. මේ දෙමුහුම පළමු පරම්පරාවට අයත් බැවින් එය ගොවියකුට වගා කළ හැක්කේ එක වරක් පමණකි. දෙවැනි වර ද වගා කළ හැකි නමුත් අපේක්ෂිත ඵලදාව ගත නොහැකි ය. මේ නිසා ගෙවියා නැවත වෙළෙඳපෙළෙන් බීජ මිල දී ගැනීමට පෙලඹේ.
අධික ඵලදාව, රෝග පළිබෝධ හානියට ඔරොත්තු දීම යන කාරණා මත තෝරාගත් මේ පළමු පරම්පරාවේ බීජ සකස් කරන්නේ කාලයක් තිස්සේ ගොවීන් විසින් භාවිත කරනු ලැබූ පාරම්පරික බීජ දෙමුහුන් කිරීමෙනි. තවත් උදහරණයක් ගත හොත් වැටකොළු වර්ග කීපයකි. එකක් නම් නියන් වැටකොළු ය. දෙවැන්න දාර වැටකොළු ය. තෙවැන්න තිත්ත වැටකොළු ය. මේ තෙවර්ගය ලංකාවේ ජනතාව භාවිත කර ඇත්තේ විවිධ අවශ්‍යතාවන්ට ය. මේ වර්ග අතරින් තිත්ත වැටකොළු හා නියන් වැටකොළුවල අස්වැන්න විශාල ය. එහි දී කර ඇත්තේ දාර වැටකොළුවලට මේවා දෙමුහුන් කිරීමයි. එම පළමු පරම්පරාව වෙළෙඳපොළට නිකුත් කිරීමේ ප්‍රතිඵලය නම් තිත්ත රසයෙන් පිරි දාර වැටකොළු වර්ගයක් ජනිත වීමයි.
මේ වර්ගයන් කෙතරම් සෞඛ්යාරක්ෂිත ද යන්න ඊළඟ ප්රශ්නයයි. නව ජීවවිද්‍යාත්මකව නම් මේ දෙමහුම ඇති කිරීම මානව වර්ගයා ගේ ජයග්‍රහණයකි. ඒ ම`ගින් ලෝකය පුරා ආහාර සුරක්ෂිතතාව වර්ධනය කර ඇතැයි යන්න ඔවුන් ගේ තර්කය බවට පත් වේ. එසේ ම මේ නව ආහාරයේ පෝෂණ ගුණාංග ගැන ද තර්කයන් ඉදිරිපත් කරන ඔවුහු මාංශජනක ධාතු වැඩි වර්ග පවා මේ ම`ගින් ජනිත කිරීමේ හැකියාව පවතින බව පවසති.
වැටකොළුවල වල් වර්ගයන් ද ඇත. ඒවා ස්වභාවයෙන් ම තිත්ත ය. අප ගේ පැරැණි පරපුරු විසින් මෙයින් හටගත් නව ජනිතයන් තෝරාගෙන නැවත වගා කිරීමෙන් දාර වැටකොළු ගුණනය කරන්නට ඇතැයි සිතිය හැකි ය. මේ සංස්කරණයෙන් පසුව වසර දහස් ගණනක් ගෙවී ඇති අතර අද වල් වර්ගය හා ගම් වර්ගය පැහැදිලිව වෙනස් වී ආරයන් දෙකක් ලෙසට පැවතේ. තිත්ත වැටකොළු අප බෙහෙතට ගන්නේ එහි පවතින වෙසෙසි ගුණාංග කාලයක සිට හඳුනාගෙන ඇති බැවිනි. සර්ප දෂ්ටයන්හි ප්‍රතිකාරයට ගැනෙන ගුලි ඇඹරීමට මේ තිත්ත වැටකොළු යොදාගැනෙයි. එහෙත් ඒවා අපි ආහාරයට නො ගනිමු. නියන් වැටකොළු ද වර්ග දෙකකි. මධුර වර්ගය හා තිත්ත වර්ගය ලෙසින් ඒවා ගොවීන් විසින් හඳුනාගනු ලැබ ඇත. තිත්ත වර්ගය හේන්වල ඉබේ වැවෙන අතර මධුර වර්ගය ගමේ වගා කිරීමට පුරුදු පුහුණු කරගෙන ඇත. මේ ක්‍රියාවලිය තුළ ස්වාභාවික වරණයේ වැඩිදියුණු කිරීමක් දක්නට හැකි නමුත් නො ගැලපෙන වර්ග මුහුන් කිරීමක් එහි දී දක්නට නැත. පැරැණි වෘක්ෂායුර්වේදය තුළ මෙවැනි වැඩිදියුණු කිරීම් දක්වා ඇත්තේ විචිත්‍රකරණය යනුවෙනි. උදාහරණයක් වශයෙන් ගත හොත් ඇට නොමැති ව මසින් පිරුණු පලතුරක් ඇති වීමට පැරැන්නන් වැල්මී සුවඳ කොට්ටන් යන දෙයින් කරන ලද කල්කය පලතුරු ගසේ මුලට යෙදීම දැක්විය හැකි ය.
මේ ක්‍රමවල තිබෙන්නේ ස්වාභාවික වරණයන් වැඩිදියුණු කිරීමක් පමණි. එහෙත් පළමු පරම්පරාවේ වර්ග භාවිත කරමින් අස්වැන්න වැඩි කරගැනීමක් ද එහි නැත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි නව ආහාර සෞඛ්‍යයට අහිතකර ය. මෙහි දී අලුත් සහල් වෙසෙසින් ම හඳුන්වා ඇත. අප ගේ පැරැන්නන් අලුත් සහල්වල බත් යොදාගත්තේ උත්සවයන්ට පමණකි. නැත හොත් කිරිබතට පමණකි. මාස හයක් වත් ඉකුත් වූ සහල් බතට ගැනීම සෞඛ්යාරක්ෂිත නො වන බව ඔවුහු හොඳින් දැන සිටිය හ. එසේ ම නව සංස්කරණ ආහාර ද එලෙස ම අහිතකර බව පවසා ඇත. මාධව නිදානයෙහි සකු බසින් දක්වා ඇති සිලෝවේ සිංහල අර්ථය මෙසේ ය.
සුව පහසු අසුන් නිති නිදි සුවෙන්
වැඩිතර දී වැළඳුමෙන් හා
හකරු රස සකසුවෙන්a
නව ආපන්නයෙන් ප්‍රමේහ රෝ එළඹෙත්
මෙහි දී නව ආපන්න යනු පෙර කී ලෙසට ම අලුත් ආහාර හා නව සංස්කරණයන් ය. ප්‍රමේහය ම`ගින් ශරීර අභ්‍යන්තරයේ ජීර්ණ පද්ධතියට ද මුත්‍රණ පද්ධතියට ද දිගුකාලීන හානි ගෙන දෙයි. වෙසෙසින් ම දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති කරන්නට ද ඉන්පසු වෙනත් අසාධ්‍ය අවස්ථාවන් ඇති කරන්නට ද ඒ හානිය සමත් වන්නේ ය. එසේ ම නව සංස්කරණයන්හි ජාන සංයුතිය අනුව මිනිස් සිරුර ද හැසිරීමට යැමෙන් රෝගවලට තිබෙන ප්‍රතිශක්තිය ද හීන ව යා හැකි ය.
දැනටමත් නාගරික ජන කොටස් සුවපහසු අසුන් මත හිඳිමින් කරන රාජකාරි නිසා ම රෝගී වී ඇත. තවදුරටත් අධිපෝෂණ ආහාර නිසා රෝග කැන්දාගෙන ඇත. ඒ අතර සැනසුමකට තිබුණේ දෙල්කඳ වැනි පොළකට ගොස් ගන්නා ගමේ එළවළු කෑමෙන් තත් රෝග යම් තරමක් සමබර ගත හැකි යෑයි තිබූ විශ්වාසයයි. එහෙත් මැලේසියන් දෙමුහුන් එළවළු ද පලතුරු ද ගම ආක්‍රමණය කරමින් ඒ අස්වැන්න නගරයට එවන්නට වී දැන් දශකයකට ආසන්න ය. පළමු පරම්පරාවේ බීජ හා ආහාර ම`ගින් දැන් අලුත් අනතුරක් ජනිත කර ඇත්තේ ය. ඒ අනතුර මිනිසා වෙත ද පරිසරය කෙරෙහි ද එක සේ බලපා ඇති බව පෙනේ. විවිධ භෝග වර්ග විසින් නොයෙකුත් දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙසට වරණය වීමෙන් ලංකාවේ ජෛව විවිධත්වය ද ආහාර සුරක්ෂිතතතාව ද ඇති ව තිබිණි. එසේ ම ඒවා දේශ සාත්ම්‍ය විය. කාල සාත්ම්‍ය විය. ඒ නිසා මනුෂ්‍යයා නිරෝගී විය. එහෙත් මේ බීජ පරිසරයෙන් ඈත් වීම නිසා පළමු පරම්පරාවේ ශාකයන්ට නො හඳුනන රෝග කැන්දාගෙන ඇත්තේ ය. ඒ රෝග නසන්නට කෘෂි රසායන භාවිත කළ යුතු ය. නැවතත් මේ විස මිනිසා වෙතට ම සංක්‍රමණය නො වේ ද?
පළමු පරම්පරාවේ බීජ, සමාගම් සතු වීම ද බෙහෙවින් ම භයානක ය. ගොවියා අත තිබූ පාරම්පරික බීජ ජාන සම්පත් මධ්‍යස්ථානවල හිර වීමේ අවදානම නිසා සොබාදහමේ සමතුලිතතාව විනාශ වෙයි. සොබාදහම මත බිහි වී ඇති ස්වාභාවික වෛද්‍ය විද්‍යාවන් ද අභාවයට පත් වීම ඇරඹෙයි. දෙමුහුන් බීජ හා ජාන විකරණය කරන ලද බීජ තහවුරු කරන නව බීජ පනත් සමාගම්වල බලපෑමෙන් නීතිගත කිරීමට උත්සාහ ගන්නේ මේ විනාශය කරා මිනිසා කැන්දාගෙන යන්නට දැයි අප විමසිය යුතු ය.මතුගම සෙනෙවිරුවන්
www.seneiruwan.blogspot.com
පලි : ලස්සනයි, රසයි ලොකුයි ඇටත් නෑ කියලා උඩ දාගෙන කෑවට ගුණය මොනවගේද කියලා තීරණය කිරීම කියවපු ඔබලාට බාරය
පපලි : අර සෙනෙවිරුවන් මහතාගේ බ්ලොග් එකනම් ඇරෙන්නේ නැති පාටය